ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් කවර කතා කීව ද මෙරට ජනයාගෙන් සාතිශය බහුතරයක් ජීවත් වන්නේ ඉතා අසීරුවෙන් බව වසන් කළ නොහැකි සත්‍යයකි. එම පිරිසෙනුත් ඉතාම දුක්ඛිත ජීවිතයක් ගත කරන පවුල් තෝරාගෙන ඔවුන්ට සහල් කිලෝ 10ක් ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහන රජය ක්‍රියාත්මක කරනු ලැබුවේ එම ජනයාට යම් සහනයක් සැලසීමේ අරමුණෙනි. රජය එහිදී ප්‍රකාශ කර සිටියේ අඩු ආදායම්ලාභි පවුල්වල පෝෂණ තත්වය වර්ධනය කිරීම සඳහා මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරන බව ය.
අඩු ආදායම්ලාභී පවුල්වලට සහල් කිලෝ 10ක් ප්‍රදානය කිරීමේ වැඩසටහන අත්‍යයන්තයෙන් ම අගය කළ යුතු ය. ‘කළ යුතු වන්නේ හාල් නිකම් දීම නොව සහල් මිලදී ගැනීමේ හැකියාව ජනතාව තුළ ඇති කිරීම’ යැයි පණ්ඩිත කතා අදාළ ම නැත. කොයි ආකාරයෙන් හෝ ජනතාවට සහන සැලසීම අගය කළ යුතු ය. එය කාලීන අවශ්‍යතාවකි.
මෙබඳු ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කරනවිට විවිධ අවලාද නගමින් විවිධ අපහාස කරමින් ඒවා හෑල්ලු කිරීමට උත්සාහ කරන පිරිස් සිටිති. එමෙන්ම දුප්පතාගේ පාත්තරයට හෙනහුරා පාත්වූවා සේ එම දිළිඳු ජනයාගේ සහනාධාරයෙන් ද තම මඩිය තර කර ගැනීමට උත්සාහ දරන චෞර කප්පිත්තෝ ද සිටිති. එබඳු එක් චෞර කප්පිත්තකු ගැන වාර්තා වූයේ සෙවණගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙනි.
මෙම බල ප්‍රදේශයේ එක් හාල් මෝල් හිමිකරුවකු ජනතාවට ප්‍රමිතියෙන් තොර සහල් බෙදාහැර තිබේ. සහල් සැපයුම්කරුවන්ට සහල් කිලෝවක් සඳහා රුපියල් 188 සත 60ක් රජය මගින් ලබා දී තිබියදීත් මෙම මෝල් හිමියා ජනතාවට ප්‍රමිතියෙන් තොර සහල් බෙදාහැර තිබේ.
මෙම ජාවාරම වාර්තා වූ සැණින් ක්‍රියාත්මක වී ඇති සෙවණගල ප්‍රාදේශීය ලේකම් රංජිත් ප්‍රියශාන්ත මහතා මෙම මෝල් හිමියාගේ සහල් සැපයුම නතර කිරීමට පියවර ගෙන තිබේ. අප පුවත්පත වාර්තා කර තිබුණේ මෙම මෝල් හිමියාගේ මුදල් ගෙවීම අත්හිටුවනවා ද නැද්ද යන්න ගැන ඉදිරියේ දී තීරණය කරන බවත් ප්‍රාදේශීය ලේකම්වරයා පවසා ඇති බවය. එසේම ප්‍රමිතියෙන් යුතු සහල් බෙදන ලද මෝල් හිමියකුට සහල් සැපයුම ලබාදීමට පියවර ගන්නා බවද හෙතෙම ප්‍රකාශ කර ඇත.
ජනතාවගේ අසරණකම පාවිච්චි කරමින් තම බඩගෝස්තරය සොයා ගන්නා මෙබඳු ජාවාරම්කරුවන්ට රජකාලේ දඬුවම් ලබාදිය යුතුය. මෙබඳු සිදුවීම් සෙවණගල ප්‍රාදේශීය බල ප්‍රදේශයෙන් පමණක් නොව රටේ බොහෝ පළාත්වලින් වාර්තා විය.
‘‘සබ්තේ සත්තා ආහාරට්ඨිතිකා’’ යනුවෙන් බුදු පියාණෝ වදාළහ. එයින් කියැවෙන්නේ ‘‘සියලු සත්වයන් ආහාරයෙන් ජීවත්වන’’ බව ය. ආහාර අවශ්‍ය වන්නේ ජීවත්වීමට ය. එහෙත් ධන තන්හාවෙන් ඔද වැඩුණු ඇතැම්හු ආහාරයෙන් ජීවත්වීම වෙනුවට ආහාරය පිණිස ජීවත් වෙති. අනෙකාගේ බත්පත පවා සැහැසි ලෙස උදුරාගෙන තම බඩගෝස්තරය සලසා ගැනීමට ඔවුහු පෙළඹෙති.
ව්‍යාපාරයක අරමුණ ලාබ ලැබීම ය. එය එසේ ම විය යුතු ය. ලාබ නො ලැබෙන්නේ නම් කිසිදු ව්‍යාපාරයක් පවත්වාගෙන යා නොහැක. එහෙත් ලාබ ඉපයීම සාධාරණ විය යුතුය. යුක්තිගරුක විය යුතු ය. ධාර්මික විය යුතු ය. දිළිඳු ජනතාවට ලබා දුන් සහල් ප්‍රදානයේ දී ප්‍රමිතියෙන් තොර සහල් බෙදාහැරීම සාධාරණ නැත. ධාර්මික නැත. එමෙන්ම එය මිනිස්කමට නිගාවකි. එබඳු අමනුෂ්‍යයන්ට උපරිම දඬුවම් ලබා දිය යුතු ය.
(***)