බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියේ රියදුරන් අතිකාල දීමනා ලබා ගැනීමේ අරමුණින් බදුල්ලේ සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට පැය දෙකහමාරක පමණ කාලයක් ගන්නා බවට දුම්රිය මගීන් චෝදනා කරන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. බදුල්ල සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට ඇති දුර කිලෝමීටර 35 ක් වුවද වේග සීමා ඉවත් කර තිබියදීත් මෙලෙස හිතාමතා දුම්රිය ප්‍රමාද කර ධාවනය කරන බවද එම ප්‍රවෘත්තියෙහි සඳහන්ය.
දිනකට දුම්රිය ගමන් වාර 400 ක් පමණ ක්‍රියාත්මක වේ. දුම්රියෙන් ප්‍රවාහන පහසුකම සලසා ගන්නා සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවනු ලබන බව දුම්රිය දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. ඒ අනුව දුම්රිය සේවය මහජන හිතවාදී කාර්යක්ෂම සේවාවක් විය යුතු බවට විවාදයක් නැත. එහෙත් අප ප්‍රවෘත්තියෙන් කියැවෙන්නේ එයට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි.
බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් දුම්රිය රියැදුරන් මාරුවන බවත් එම රියැදුරු සහ සහායක කොළඹින් බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය බණ්‍ඩාරවෙලින් රැගෙන බදුල්ල බලා ධාවනය වන බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. දුම්රිය ප්‍රමාද වී බණ්‍ඩාරවෙල බලා රැගෙන එනවිට එම දුම්රිය රියැදුරුට සහ සහායකට අතිකාල දීමනා ගෙවන බවත් එහෙයින්ම ඔවුන් හිතාමතාම දුම්රිය ධාවනය පමා කරන බවට චෝදනා කෙරෙන බවද එම ප්‍රවෘත්තියෙහි සඳහන්ය.
ශ්‍රමයට සරිලන වැටුපක් අපේක්ෂා කිරීම අත්‍යන්තයෙන්ම සාධාරණය. ශ්‍රමයට සරිලන වැටුපක් නොලැබෙන්නේ නම් එයද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අසාධාරණය. එම අසාධාරණය සාධාරණය බවට පත් විය යුතුය. වෘත්තීය සමිති මෙන්ම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තිබෙන්නේද ඒ වෙනුවෙනි. එම යුක්ති සහගත සහ සාධාරණ ක්‍රියාමාර්ග අනුගමනය නොකර දුම්රිය මගීන් ගලග්‍රහණයට ගැනීම පිළිකුල් සහගත ක්‍රියාවකි.
දුම්රිය ධාවනය වන්නේ කාල සටහනකට අනුවය. ජනයා තම අවශ්‍යතාව අනුව දුම්රිය ගමන් වාරය තෝරා ගනී. එහිදී දුම්රිය මගියා තම ගමනාන්තයට ළඟාවන වේලාව දනී. ඔහු තම සියලු සැලසුම් සකස් කර ගනු ලබන්නේ ඒ අනුවය. එහෙත් එම කාලය පැය දෙක හමාරක් තුනක් පමා වන්නේ නම් ඒ මිනිසා මුහුණ දෙන ගැටලුව වටහා ගැනීම අසීරු නැත. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ ධාවනය කෙරෙන දුම්රියක් එසේ වන්නේ නම් එහි බරපතළකම වටහා ගැනීම අසීරු නැත. දුම්රිය මගීන් චෝදනා කරන්නේ රාත්‍රී තැපැල් දුම්රිය සම්බන්ධවය. එහෙයින් මෙම චෝදනාව සුළුවට ගෙන පහසුවෙන් ඉවත දැමිය යුතු නැත.
සුදු කරපටි අපරාධකරුවන් යනුවෙන් නාමකරණයට ලක්වූ පිරිස් සිටිති. ඔවුහු අපරාධකරුවෝ ලෙස නොපෙනෙති. ඔවුහු වංශවත් මහත්වරු ලෙස පෙනී සිටිති. සියලු යහගුණදම් පෙරට දමමින් ඔවුහු අපරාධ කරති. අතිකාල දීමනා වෙනුවෙන් දුම්රිය මගීන් බිල්ලට ගන්නා දුම්රිය සේවකයෝද එබඳු සුදු කරපටි අපරාධකරුවෝ වෙති. මහජනයාට අතිශයින්ම සමීප සේවාවක එබඳු සුදු කරපටි අපරාධකරුවන් සිටීම ඛේදවාචකයකි.
ප්‍රමාද වී දුම්රිය ධාවනය වීම දුම්රිය දෙපාර්තමේන්තුවට ආවේණික ලක්ෂණයකි. නියමිත වෙලාවට ගමන් වාරය අරඹා නියමිත වේලාවට ගමනාන්තයට ළඟාවන දුම්රියක් යනු සිහිනෙන් හෝ සැබෑවක් නොවන යථාර්ථයට බෙහෙවින් දුරස් වූවකි. දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන වාර්තාවට අනුව 2017 වසරේදී වාර්තා වූ දුම්රිය ප්‍රමාදවීම් හි ප්‍රතිශතය සියයට 56 කි. සිදු විය යුතුව තිබෙන්නේ ඊළඟ වසරේදී එම අඩුපාඩුව සම්පූර්ණ කිරීමය. එහෙත් සිදුවී තිබෙන්නේ එය නොවේ. 2018 වසරේදී එය සියයට 59 ක් දක්වා වර්ධනය වී තිබේ. 2019 වසරේ ප්‍රගතිය දැක්වෙන වාර්තාව තවමත් ප්‍රකාශයට පත්වී නැත.
මෙරට දුම්රිය සේවයෙහි අභ්‍යන්තරය ඉහතින් දක්වා ඇති ආකාරයටම ඉතා දුක්ඛිතය. අපට ජපානයේ හෝ වෙනත් දියුණු රටක පවතින කාර්යක්ෂම දුම්රිය සේවාවක් අපේක්ෂා කළ නොහැකිය. එක් අතකින් අබල දුබල දුම්රිය එන්ජින්ය. වැසි වැටෙන විට කුඩ ඉසලිය යුතු දුම්රිය මැදිරිය. නරකාදියකින් වෙනස් නොවන වැසිකිළිය. දුම්රිය මගට සාමාන්තරව ජනාවාසය. එයට අමතරව ඇතැම් දුම්රිය මාර්ග වැටී ඇත්තේ අලිමංකඩවල් හරහාය.
අධිවේගී මාර්ග පද්ධතියකට වඩා දියුණු දුම්රිය සේවයක් පවතින්නේ නම් වැඩි දෙනකුට ප්‍රයෝජනවත් බවට විවිධ පාර්ශ්‍වවලින් අදහස් මතුවන රටක දුම්රිය සේවයෙහි දුක්ඛිත ඉරණම ඉහත පරිදි වේ. මෙම තත්ත්වය වෙනස් කළ යුතුය. බදුල්ල රාත්‍රී දුම්රිය පැය දෙක හමාරක් පමාවීම සම්බන්ධයෙන් ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ මහතා වාර්තාවක් ඉල්ලා ඇතැයි අප පුවත්පත වාර්තා කළේය. ඒ කාර්යක්ෂම බව එක් අතකින් සතුටුදායකය.