හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සී.අයි.ඩී.ය මගින් අත්අඩංගුවට ගනු ලැබ, මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, ලබන 15 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබීය. රඹුක්වැල්ල අමාත්‍යවරයා සී.අයි.ඩී.ය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ, ඉතාම හදිසි කටයුත්තක් වශයෙන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ඖෂධ ගෙන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය දුන් නියෝගයකට අනුව බව ද සඳහන්ය. බාල ප්‍රතිදේහක ඖෂධ බෙදාහැරීමෙන් රජයට රුපියල් කෝටි ගණනක අලාභයක් සිදු කිරීම ද ඔහුට එරෙහි චෝදනා අතර වෙයි.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා චෝදනා ලබා සිටින්නේ, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් වුව ද, ඔහු රිමාන්ඩ් බාරයට පත්කෙරෙන විට ද කැබිනට් අමාත්‍යවරයෙකි. අප රටේ දේශපාලන සංස්කෘතියට අනුව ආණ්ඩුවට සම්බන්ධ මැති ඇමැතිවරුන්ට එරෙහිව අධිකරණය ඉදිරියේ කොතරම් බරපතළ චෝදනා එල්ල වුවත්, ඔවුන්ගේ තනතුරු අහිමි වන්නේ නැත. අමාත්‍යවරයකු වශයෙන් ලැබෙන කිසිදු වරප්‍රසාදයක් හෝ ලැබීමක් හෝ නොලැබී යන්නේත් නැත. වෙනත් රටක නම්, රටවැසියන්ගේ ජීවිතවලට බලපාන සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන කිසිදු දේශපාලනඥයකුට එම චෝදනාවලින් නිදහස් වන තුරු තනතුරු හෙබවීමට ඉඩක් නැත. ඔවුහු එක්කෝ හොබවන තනතුරින් ඉල්ලා අස් වෙති. නැතහොත්, ආණ්ඩුව මගින් ඔවුහු ඉවත් කෙරෙති. ඉන්දියාව සහ සිංගප්පූරුව මීට හොඳම උදාහරණයි. එහෙත්, අපේ ශ්‍රී ලංකාවේ නම් එහෙම වෙන්නේ නැත. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් එල්ල කෙරුණු චෝදනාවල ප්‍රතිඵලයක් හැටියට කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍යවරයා වශයෙන් රිමාන්ඩ් බාරයට පත්වන්නේ අපේ රටේ එම දේශපාලන සංස්කෘතියට අනුවය.
බාල බෙහෙත් මගඩිය මෙරට පොදු ජනතාව අතරේ බරපතළ ලෙස විවාදිත කරුණක් බවට පත් විය. බාල බෙහෙත් විස වීමෙන් දැඩි ලෙස ගිලන් වූ රෝගීන් මෙන්ම ජීවිතය අහිමි වූ රෝගීහු ද වූහ. මේ විනාශය සිදු වූයේ රෝගීන්ට බාල බෙහෙත් ලබා දීමත්, එසේම බෙහෙත් කියා පාට කළ වතුර බෙදාහැරීමත් නිසා බව උසාවිය හමුවේ දිගහැරෙන නඩු වාර්තාවලින් හෙළි වෙමින් තිබේ. ජනතාව අතරේ ඉතා සංවේදී ලෙස කතාබහට ලක්වූ මේ බාල බෙහෙත් මගඩියට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොතරම් දුරකට වගකිව යුතු ද? ඔහු වැරැදිකරුවෙක් ද යන්න අපි නොදනිමු. එය තීරණය කරනු ඇත්තේ, අධිකරණය මගින් නමුත්, අධිකරණ තීන්දුව එනතුරු අමාත්‍ය කෙහෙළිය මේ සිද්ධියේ සැකකරුවෙක් වෙයි.
ඒ පසුබිම යටතේ අපට පෙන්වා දීමට සිදුවන්නේ, අමාත්‍ය කෙහෙළිය රිමාන්ඩ් බාරයට පත්වීම මෙරට ආණ්ඩු පක්‍ෂ මැති ඇමැතිවරුන්ට කදිම පාඩමක් බවය. දූෂණයට සහ වංචාවට ආධාර සහ අනුබල දෙන බඩගෝස්තරවාදී දේශපාලකයන්ටත්, ඔවුන්ගේ ගජමිතුරන් හැටියට ක්‍රියා කරමින් මැති ඇමැතිවරුන්ට අවශ්‍ය ආකාරයට රජකාරි ලියකියවිලිවලට අත්සන් ගසන වංචනික ක්‍රියාවලට අනුබල දෙන ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ටත් මෙය යස පාඩමකි. බාල බෙහෙත් මගඩියේ සැකකරුවන් හැටියට සෞඛ්‍ය අමාත්‍යාංශයේත්, ඊට අනුබද්ධ ආයතනවල ඉහළ නිලධාරීන් පිරිසක් ද අද සිරගෙදර කූරු ගනිමින් සිටින්නේ, එහි හවුල්කරුවන් වීම හේතුවෙනි. එය, රාජ්‍ය නිලධාරීන්ට ද තමන් නිල රාජකාරි ඉටුකළ යුතු වන්නේ නීතිමය සීමා ඇතුළේ බව යළි යළිත් සිහිපත් කර දීමකි.
මෙරට නීතිය, බලවතාට එක ආකාරයකටත්, සාමාන්‍ය පොදු ජනතාවට තවත් ආකාරයකටත් ක්‍රියාත්මක වන බවට පසුගිය කාලය පුරාම චෝදනා නැගිණි. පොඩි අල්ලසක් ගන්නා සාමාන්‍ය රජයේ නිලධාරියකුට නීතිය තදින්ම ක්‍රියාත්මක වුව ද මහා පරිමාණයෙන් වංචා සහ දූෂණ සිදු කළ බවට පැහැදිලි සාක්‍ෂි තිබියදීත්, ඒ දූෂිත ක්‍රියාවලට ඍජුවම සම්බන්ධ බවට චෝදනා ලැබූ ඇතැම් ජ්‍යෙෂ්ඨ දේශපාලකයෝ අදටත් නිදැල්ලේ සිටිති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය සහන ප්‍රදානය කිරීමට පෙර නිකුත් කළ එක් වාර්තාවක ශ්‍රී ලංකාව හඳුන්වා තිබුණේ, දූෂණය සහ වංචාව ඉහවහා යන රටක් වශයෙනි. ඒ ගැන පුරවැසියන් හැටියට අපට දැනෙන්නේ ලජ්ජාවකි. එහෙත්, දේශපාලනඥයන්ට නම්, එවැනි ලජ්ජාවක් නැති බව අමාත්‍ය කෙහෙළියට අත්වූ ඉරණම රටට කියා දෙන කටුක පාඩමයි.
(***)