සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතනයකට පත්ව සිටින සභාපතිවරුන් එම තනතුරු අතහැර යන්නේ ආණ්ඩු වෙනසකින් පසුවය. ඇතැම්විට අමාත්‍යවරයා වෙනස්වීමෙන් පසුව ද සමහර සභාපතිවරුන්ට පදවිය අහිමි වෙයි. එහෙත් ආණ්ඩුව තිබියදී විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයාත් එසේම සිටියදී තමන්ට තවදුරටත් රාජකාරි කිරීමට නොහැකි බව ජනාධිපතිවරයාට ලිපියකින් දන්වා ගෙදර ගිය සභාපතිවරයකු පිළිබඳව පසුගියදා අපගේ ලංකාදීපය ප්‍රධාන පුවතින් හෙළිකර තිබිණි.
මෙසේ තම ධුරයට ආයුබෝවන් කියා ගෙදර ගිය සභාපතිවරයා සීනෝර් පදනමේ සභාපති ධුරය හොබවමින් සිටි ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතායි. ඔහුට සිය ධුරය අතහැර යාමට ඉඩ සැලසූ බවට චෝදනා ලැබ සිටින්නේ ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා බව ද සඳහන් ය.
මේ ගැටුම අහේතුකව පැන නැගුණු ඇමැති - සභාපති ගැටුමක් නොවේ. අදාළ අමාත්‍යවරයා තමාට තර්ජනය කරමින් අල්ලස් ඉල්ලන බවත් ඒවා ලබා නුදුන් අවස්ථාවල විවිධ මාර්ග හරහා මරණීය තර්ජන කරන බවත් සඳහන් කර ඇති සභාපතිවරයා ඔහු පත්වීම් ලබාදුන් අලුත් සේවකයන්ට වැටුප් ගෙවන ලෙස තමාට බලපෑම් කරන බව ද ලිපියේ සඳහන් කර තිබේ.
රාජ්‍ය අමාත්‍යවරයාගෙන් මේ චෝදනා පිළිබඳව කළ විමසීමේ දී ඔහු ඒ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර ඇත. තමන්ට සීනෝර් පදනම් සභාපතිවරයා සමග ගැටුමක් නැති බවත් ඔහුගේ පිළිතුරේ සඳහන් විය.
ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතාට මේ චෝදනා හෝ සභාපතිවරයා හෝ ගැටලුවක් හැටියට නොපෙනීයාම ගැන පුදුම විය යුතු නැත. එහෙත් දූෂණය සහ වංචාව සම්බන්ධයෙන් කප් ගැසූ රටක් වන ශ්‍රී ලංකාවේ එවැනි සිදුවීම් විරල නැති බව අමාත්‍යවරයාට පෙන්වා දිය යුතුය. රාජ්‍ය මුදල් තමන්ගේ දේශපාලන වැඩට යොදා ගැනීම නිර්ලජ්ජිත හිරිකිත ක්‍රියාවකි. එවැනි ක්‍රියාවල නිරතවන දේශපාලකයන්ට ඒ ගැන ගාණක් නැති විය හැකිය. එහෙත් සුදු ඇඳුමින් තම සිරුර වසාගත් පමණින් තම අමන ක්‍රියාවල කළුපාට මැකී නොයන බව කිව යුතුය.
මේ රටේ සියලු රාජ්‍ය නිලධාරීන් දූෂිත සහ වංචනික ක්‍රියාවලට අනුබල දෙන අය නොවේ. එසේම රජයෙන් දේශපාලන පත්වීම් ලබන නිලධාරීන් සියලු දෙනා ද වංචනිකයන් නොවේ. එමෙන්ම ඇතැමුන් තමාට පත්වීම ලබාදුන් අමාත්‍යවරයා විසින් ලබාදෙනු ලබන නීති විරෝධි අණ පිළිපැදීමට ඉදිරිපත් වන්නේද නැත. සීනෝර් පදනමේ සභාපතිවරයා අපට දැනෙන පරිදි එවැනි කෙළින් වැඩ කරන එවැනි දක්ෂ නිලධාරියෙකි. ආර්ථික වශයෙන් වැටී තිබූ ආයතනය තමන් හැකි පමණින් වෙහෙස දරා ගොඩගත් එවැනි නිලධාරීන් රැකගන්නවා වෙනුවට ඔවුන්ට ගෙදර යාමට සැලැස්වීම අමන ක්‍රියාවක් බව කිව යුතුය.
මේ ආකාරයේ අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීම් හේතුවෙන් පසුගියදා වයඹ පළාත් ප්‍රධාන ලේකම් තනතුර හෙබවූ රන්ජිත් ආරියරත්න මහතා ද එම තනතුරින් ඉවත් කර තිබිණි. එය වයඹ පළාත් රාජ්‍ය නිලධාරින්ගේ බලවත් උදහසට හේතු වූ අතර, ඒ සඳහා ඔවුහු විරෝධතා පවා පැවැත්වූහ. ඔවුන් පෙන්වා දී තිබුණේ මෙතෙක් කලකට තම සේවා කාලය තුළදී කිසිදු වරදකට සම්බන්ධ නොවූ යහපත් නිලධාරියකු වන රන්ජිත් ආරියරත්න මහතාට නිකරුණේ චෝදනා එල්ල කිරීම දැඩිව ප්‍රතික්ෂේප කරන බවයි. එය බරපතළ පළිගැනීමක් වශයෙන් ඔවුහු හැඳින්වූහ.
දේශපාලකයන්ට යහපත් නිලධාරීන් පෙන්නන්න බැරුව යන්නේ ඔවුන් තමන් විසින් දෙන නීති විරෝධී අණ පිළිපැදීම ප්‍රතික්ෂේප කරන බව රටේ ජනතාව දන්නා කාරණයකි. ලබාදෙන ඕනෑම කුණු නියෝගයකට අවනත වුණ නිලධාරීන් දේශපාලකයන්ගේ නෙතට රසඳුනකි. එහෙත් ඒවාට විරුද්ධ වන අයට ගෙදර යාමට සලස්වති.
මේ අනුව වැඩකළ එසේ හිටපු කැබිනට් අමාත්‍යවරයකු තමන්ගේ නිලධාරීන් පිරිසක් සමග දැන් සිටින්නේ සිරගෙදර කූරු ගනිමිනි. අඩු තරමින් එයින් හෝ පාඩමක් ඉගෙන නොගත් දේශපාලකයන් තවමත් සිටින බව සීනෝර් පදනමේත් වයඹ පළාත් ලේකම්ගේත් සිද්ධි පෙන්වා දී තිබේ.
(***)