රජයේ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩවලට පත්කිරීම් කිරීමේදී හා එම ආයතනවල රජය සතු කොටස් පෞද්ගලික අංශයට පැවරීමේදී විෂය භාර අමාත්‍යවරුන්ගේ හිතවතුන් හා ඥාතීන් හට ඒවා ලබාදීම වැළැක්වීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බව වාර්තා වෙයි. ඒ සඳහා ප්‍රතිපාදන ඇතුළත් පනත් කෙටුම්පතක් ළඟදීම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද මේ ප්‍රවෘත්තිය හෙළි කරන අපගේ සහෝදර ඉරිදා ලංකාදීප පුවත්පත සඳහන් කර තිබිණි.
ප්‍රවෘත්තියේ සඳහන් ආකාරයට රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය හා ඒවා පවත්වාගෙන යාමට අදාළ ප්‍රතිපාදන ඇතුළත් පනත් කෙටුම්පත සම්මත වී ක්‍රියාවට නැංවීමට හැකි වුවහොත්, එය මේ රටේ පරිපාලනයේ ඉතා වැදගත් ව්‍යුහාත්මක වෙනසක් ඇති කරන බව ස්ථිරය. මෙසේ අමාත්‍යවරුන්ගේ ඥාති හිතවතුන්ට තනතුරු, ආයතන බෙදීම මේ රටේ දේශපාලන සංස්කෘතියේ එක් අනිවාර්ය අංගයක් වී තිබීම එයට හේතුවයි.
රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවලට අමාත්‍යවරුන්ගේ හිතවතුන් සහ ඥාතීන් පත් කරනු ලබන්නේම රටට සේවයක් ඉටු කරගැනීම සඳහා නොව තමන්ගේ බඩ වඩවා ගැනීම පිණිස බවට මේ රටේ ඡන්දදායකයන් තුළ ප්‍රබල හැඟීමක් පවතී. අදාළ විෂය පිළිබඳව කිසිදු සුදුසුකමක් හෝ විශේෂඥ දැනුමක් හෝ නොමැති හිතවතකු හෝ ඥාතියකු රාජ්‍ය ආයතනයක පාලනය සඳහා පත් කරනු ලැබූ විට එම ආයතනයේ සියලු මූල්‍ය කටයුතු හසුරවනු ලබන්නේ අමාත්‍යවරයාගේ නියෝජිතයා වීම වැළැක්විය නොහැකිය. එළිපිටට පෙනෙන ආකාරයට ටෙන්ඩර් ක්‍රියාමාර්ග අනුගමනය කෙරුණත්, අදාළ ටෙන්ඩරය ලැබෙන්නේ අමාත්‍යවරයාගේ නියෝජිතයාගේ කැමැත්තට අනුව බව ප්‍රකට රහසකි. කරුණු එසේ සිදුවන විට අදාළ ආයතනය සුදු අලියකු බවට පත්වීම පිළිබඳ පුදුම විය යුතු නැත.
මේ රටේ රාජ්‍ය ව්‍යවසාය 2022 වසර අවසන් වන විට ලබා තිබූ අලාභය රුපියල් ට්‍රිලියන 1.3ක් බව සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දී තිබේ. එසේම, රටේ ප්‍රධාන පෙළේ රාජ්‍ය ව්‍යාපාරික ආයතන 287ක් අතුරින් 54ක් ආර්ථික වශයෙන් උපායමාර්ගිකව ඉතාම වැදගත් ආයතන වශයෙන් සැලකෙයි. ඒ ඇතැම් ආයතන පවා විශාල වශයෙන් පාඩු ලැබීමට ප්‍රධාන හේතු 3ක් වශයෙන් සඳහන් වන්නේ, එම ආයතනවලට දැරිය නොහැකි තරම් පිරිසක් රාජකාරි වැඩට බඳවා ගැනීමත්, රජය සතු කොටස් ප්‍රමාණය අධික වීමත් සහ ඵලදායිතාව ඉතා දුර්වල මට්ටමක පැවතීමත්ය. මේ අතුරින් පළමු සහ තෙවැනි කාරණා ද්විත්වයටම ලොකුම බලපෑම සිදුවන්නේ අමාත්‍යවරුන් විසින් එම ආයතනවලට පත් කරනු ලබන සමීප ඥාතීන් සහ ගජ මිතුරන්ගෙනි. ඔවුන් එම තනතුරු ලබාගත් දිනයේ සිට අමාත්‍යවරයාගේ සිත සතුටු කිරීම හේතුවෙනි.
මේ ආයතන දිනෙන් දින පරිහානිය කරා යැවෙයි. අවසානයේ එම ආයතන නඩත්තු කරන්නේ, එහි සේවක වැටුප් පමණක් නොව බෝනස් පවා ගෙවන්නේ රටේ පොදු මහජනතාවගේ බදු මුදලින් වීම ලොකුම ඛේදවාචකයයි.
එහෙත්, සෑම අමාත්‍යවරයකුම මේ ආකාරයට කටයුතු කරන බව අපි නොකියමු. ඇතැම් අමාත්‍යවරු උගත්, දක්ෂ සහ විෂය දැනුමින් පිරිපුන් පුද්ගලයන් එම ආයතනවලට පත් කරති. නම් වශයෙන් සඳහන් නොකරන නමුත්, මේ ඇතැම් ආයතන එවැනි නිලධාරීන් හෝ සභාපතිවරුන් හෝ යටතේ ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්වා ඇති බවත්, එම රාජ්‍ය ආයතන රටේ ආර්ථිකයට පවා ශක්තියක් වූ බවත් සඳහන් කරමු. එහෙත්, අවාසනාවකට මෙන්, ඒ ඇතැම් ආයතන දියුණුවට පත් කළ උගත් දක්‍ෂ නිලධාරීන් ඉවත් කොට, වෘත්තීය සමිති නායකයන් හෝ බස් සේවකයන් හෝ වැනි පිරිස් පත් කිරීමෙන් එම ආයතන කඩා වැටුණු බව ද සඳහන් කළ යුතුය. රජය ළඟදී හඳුන්වා දීමට නියමිත අමාත්‍යවරුන්ගේ තටු කැපීමේ පනත හරහා එම වැරැද්ද නිවැරැදි වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
(***)