දේශයේ උරුමයට නිගාදෙන නරුමයෝ


තරුණයන් හත්දෙනකු හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියේ නටබුන් චෛත්‍යය මතට නැඟ ගත් ඡායාරූප සමාජ ජාලා වෙබ් අඩවිවලට මුදාහැරීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි හොරොව්පොතාන පොලිසිය පවසන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමිය ක්‍රිස්තු වර්ෂ තුන්වැනි සියවසට අයත් සෙල්ලිපි පවා තැන්පත්ව ඇති භූමියකි. ඒ ඓතිහාසික පුරාවිද්‍යා බිමට ඉකුත් ජනවාරි 5 වැනිදා හෝ ඊට ආසන්න දිනයක අනවසරයෙන් ඇතුළු වී ඇති තරුණයන් හත් දෙනකු නටබුන් චෛත්‍යය මත නැඟ මෙම ඡායාරූප ගෙන සමාජ ජාලා වෙබ් අඩවිවලට මුදාහැර ඇත. මෙම තරුණයන් ත්‍රිකුණාමලය හා අම්පාර ප්‍රදේශවල පදිංචි, විශ්‍වවිද්‍යාලයක ඉගෙනුම ලබන සිසුන් බවට හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා අප පුවත්පතට පවසා තිබිණි.

විශේෂ අවධානය යොමු කළ යුතු සිදුවීමකි. මේ රට අත්‍යන්තයෙන්ම බෞද්ධ රටකි. එහෙත් අනෙකුත් ආගමිකයෝ ද අප්‍රමාණ සහජීවනයෙන් කල් ගෙවති. මෙරට සාතිශය පොදු මහජනයා තුළ ජාති බේද ආගම් බේද හෝ මිනිස් වර්ගයාට නිගාදෙන වෙනත් බේද කිසිවක් නැත. එහෙත් අන්තවාදී අශිෂ්ට සුළුතරයක් සිටිති. කවර හෝ ගැටුමක් මවාපා තමන්ගේ පටු හා පවිටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමට ඔවුහු උත්සුක වෙති. එහෙයින් ශිෂ්ට බහුතරය එබඳු උගුල්වලට හසු නොවී සාමූහික විචාර බුද්ධියෙන් කටයුතු කළ යුතුය. එහි වැදගත්කම එයට හිමි නිසි අර්ථයෙන්ම හඳුනා ගත යුතුය.

කවර ආගමික ස්ථානයකදී වුවද සංවරව, විනීතව හැසිරීම අපේක්ෂා කළ යුතුය. එම ස්ථානයට නිගා දෙන අයුරින් හැසිරීම, එසේ හැසිරී එය සමාජගත කිරීම කිසිදු ශිෂ්ට පුරවැසියෙක් අනුමත නොකරයි. පිදුරංගල සිදුවීමේදී සමාජයේ පතුළ බිඳගෙන මතු වී ආ විරෝධය එයට කදිම නිදසුනකි. ඉගෙන ගන්නවා නම් පිදුරංගල සිදුවීම ඕනෑම පුරවැසියකුට හොඳ අත් පොතකි. එහෙත් විනාශ​ෙයන් මෙපිට පාඩම් ඉගෙන නොගන්නා අශිෂ්ට, අශීලාචාර, අනීතික හා අවිනීත සුළුතරයක් ද සිටිති. කිරලාගල නටබුන් දාගැබ මත නැඟ ඡායාරූප ගෙන සමාජ ජාල, වෙබ් අඩවිවලට මුදාහළ අශිෂ්ටයන් අයත් වන්නේ එම පිරිසටය.

තරුණ යන වචනයට දිය හැකි එක් අරුතක් වන්නේ දිලිසීමය. යුගය වර්ණවත් කිරීම එම තරුණයන්ගේ වගකීමය. රටක ජීවනාලිය ලෙස තරුණ පරපුර හැඳින්වෙන්නේ ද එහෙයිනි. ඒ තරුණයා ගුණයෙන් පැහැපත් විය යුතුය. ඥානයෙන් පෝසත්විය යුතුය. සාමූහික විචාර බුද්ධියෙන් පිරිපුන්ව පරාර්ථකාමීත්වයෙන් අනූන විය යුතුය. යුක්තිගරුක විය යුතුය. සත්‍යගරුක විය යුතුය. සටන්කාමී විය යුතුය. සිය දෙවුර මත පැටවුණු වගකීම් එයට හිමි නිසිබරින් හඳුනාගෙන ඒ වෙනුවෙන් කැපවිය යුතුය. රටේ අනාගතය බාරගත යුතු වන්නේ එකී සියලු ලක්ෂණ සාර සුබාවට වගා කර ගත් තරුණ පරම්පරාවකටය.

කිරලාගල පුරාවිද්‍යා භූමියේ දී සිය නිරුවත සේයාරූගත කර ලොවට  පෙනෙන්න සමාජ ජාල වෙබ් අඩවිවලට මුදාහැරිය තරුණයන් ප්‍රදර්ශනය කළ නීච, අධම මානසිකත්වය කෙවිටෙන් තලා පිටමන් කළ යුතුය. මේවා දඟකාර යෞවනයන්ගේ වැඩ ලෙස සුරතල් නොකළ යුතුය. තම රටේ ඉතිහාසය නොදන්නා හෝ ඒ ඉතිහාසය පිළිකෙව් කරන ඒ ඉතිහාසය පිටු දකින තක්කඩියන් ලෙස එම තරුණයන් හඳුනා ගත යුතුය. ජාතික අධ්‍යාත්මයට ගරු නොකරන ඒ මත වසුරු හෙළන තරුණ පරපුරකින් ඒ රටට අබමල් රොනක තරමින් වත් ප්‍රයෝජනයක් නැත.

මේ වූ කලී නොදැන කළ වැරැදි යැයි සිතිය නොහැකිය. ඒ බව පැහැදිලි වන්නේ එම සේයාරූ අන්තර් ජාලයට මුදාහැරීම හරහාය. එහි අරමුණ කුමක්ද? තම තක්කඩිකම සමාජගත කිරීමෙන් ඔවුන් අපේක්ෂා කරනුයේ කුමක්ද? ‘‘මේ අපේ හැටි, තොපට පුළුවන් දෙයක් කරපල්ලා’’ යන සංඥාව මෙයින් නිකුත් නොවන්නේද? රටේ නීතියට යම් තරමක හෝ පක්ෂපාතීත්වයක් වේනම් මෙසේ තිරශ්චීන ලෙස කටයුතු කරයිද?

හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මෙම තක්කඩියන් විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නා සිසුන් බවය. එහෙත් එම විශ්‍වවිද්‍යාලයේ නම අප පුවත්පතේ පළ නොවීය. තක්කඩියන් හත් දෙනකු නිසා මුළු විශ්‍වවිද්‍යාලයකටම නිගරු කළ නොහැකිය. විශ්වවිද්‍යාලයක් සම්බන්ධයෙන් අප සතුව ඇති ගෞරවනීය හැඟීම එපරිදිය. එහෙත් මේ තක්කඩියන්ට සියවස් ගණනාවක් ඉපැරණි බොදු බිමක් සම්බන්ධයෙන් ඒ ගෞරවය නිපදවා ගත නොහැකි විය. මේ නීච හා අධම ක්‍රියාව කළ තක්කඩියන්ට උපරිම දඬුවම් දිය යුත්තේ එහෙයිනි.