නව බදු ක්‍රමයෙන් බැටකන මධ්‍යම පන්තිය


මරණ මංචකයේ වැතිර සිටින රෝගියකුගේ වුව අවසන් ප්‍රාර්ථනාව දෙපයින් නැගී සිට ඇවිද යා හැකි තත්ත්වයක් උදාවේවා යන්නය. අද මෙරට ජනයා සිටින්නේද මරණ මංචකයේ ය. ඒ තුන් වසරකට වැඩි කාලයක් මුළුල්ලේ ය. මෙම කාලය පුරාවට ම එම ජනයාගේ ඒකාන්ත ප්‍රාර්ථනය වූයේ මෙම මළපුඩුවෙන් නිදහස්වීම ය. එහෙත් සිදුව ඇත්තේ ඒ මළපුඩුවට ගෙල තව තවත් සිරවීම ය. සිරවීම කොතෙක් ද යත් හුස්ම ගන්නා බවක් නොදැනෙන තරම් ය. මේ මළපුඩුව ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්තිය විනා අන් යමක් නොවේ.

රජයකට වියදම් පියවා ගැනීමට ආදායම් වුවමනාය. ඒ සම්බන්ධයෙන් තර්කයක් නැත. බදු අය කිරීම ප්‍රධානම ආදායම් මාර්ගයකි. දියුණු රටවල ජනයාගෙන් අය කරන බදු මුදලෙන් එම ජනතාවටම සහන සලසයි. එහෙත් අප රටේ සිදුවන්නේ ජනයාගේ ගෙල මිරිකා ලබාගන්නා බදු මුදලින් ආණ්ඩුවේ දෛනික වියදම් පියවා ගැනීම ය. ආර්ථික ඔස්තාර්ලා පැටව් ගසා සිටින රටේ ආර්ථික අර්බුදයට එකම විසඳුම ලෙස ආදේශ කර තිබෙන්නේ ගෙල මිරිකා බදු අය කිරීම ය.

ඉකුත් ජනවාරි පළමුවැනිදා සිට ආණ්ඩුව අලුත් බද්දක් හඳුන්වා දුන්නේය. එය උපයන විට ගෙවීමේ බද්දකි. රුපියල් ලක්ෂයකට වැඩි වැටුපක් ලබාගන්නා පුද්ගලයාගේ සිට ඉහළට මෙම බද්ද අය කරනු ලබයි. සිදුවිය යුතු වන්නේ දුක් විඳිමින් එසේ ආදායම් උපයන පුද්ගලයන්ට රජයෙන් දිරි දීමනාවක් ලබාදීමය. එහෙත් සිදුවන්නේ දරුවාට ලැබෙන ශිෂ්‍යාධාරය පික් පොකට් ගසා ගෙදර වියදම් පියවා ගැනීමට උත්සාහ කරන බේබදු පියකුගේ භූමිකාව ආණ්ඩුව රඟදැක්වීම ය.

අපේ රටේ මුග්ධ පාලකයෝ භාණ්ඩාගාරය පතුළටම හිස් කළහ. ඩොලර් සංචිත සිඳී ගියේය. ඩොලරයට සාපේක්ෂව රුපියල මස්තබාල්දු විය. භාණ්ඩ මිලදී ගැනීමට පවා මුදල් නොමැති විය. එ්කාන්ත ප්‍රතිඵලය වූයේ භාණ්ඩ හිඟයක් නිර්මාණයවීම ය. එහි අවසන් අස්වැන්න භාණ්ඩ මිල හත් අට ගුණයකින් ඉහළ යාම ය. ඒ ඉහළ යාම කොතෙක් ද යත් ආර්ථික අර්බුදය ඒමට පෙර රුපියල් ලක්ෂයක වටිනාකම අද වනවිට රුපියල් හතළිස් දහස තරමට පල්ලම් බැස ඇත. මෙම උද්ධමනය දුගී පැලට මෙන්ම මහා මන්දිරයට ද දැනෙමින් තිබේ.

අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහි විය යුතු පරිද්දෙන්ම වෘත්තිකයෝ සටන් බිමට පිවිස සිටිති. ඔවුන් නඩත්තු කළ කුටුම්භය මෙම උපයන විට ගෙවීමේ බද්ද නිසා තව දුරටත් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ. එහෙයින්ම වෘත්තිකයෝ කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කළහ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු මුහුණු පොතට එක් කර තිබූ සටහනකින් බදු වගුරේ ගැඹුර පෙන්වා දෙයි. ඔහු ප්‍රකාශ කර තිබුණේ ‘පඩිපත ලැබුණා, බදු සහ ණය එකට කැපිලා 139000ක් ඉතුරුයි. නිවාස ණය රුපියල් 125000කි. දරු පවුලත් සමග මාසේ ජීවත් වෙන්න තියෙන්නේ රුපියල් 14000යි. ගන්න පුළුවන් ඉහළම උපාධියත් අරන්. මේ රටට අපව ඕනැ නැද්ද? මේ රටෙන් ගිහින් මට සහ මගේ අධ්‍යාපනයට වටිනාකමක් දෙන රටකට යනවද? නැත්නම් පවුල් පිටින් මැරිලා යනවද? අපිව මෙහෙම වැට්ටුවම අපි කොහොමද ඔළුව කෙළින් තියාගෙන උගන්වන්නේ?’

ඉහත සටහනින් මේ රටේ නිර්මාණය වී ඇති මානව ඛේදවාචකයේ තරම පැහැදිලිය. එහෙත් පනවා ඇති බදු ඉවත් කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සම්මුතිවීමට නොහැකිවනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී ඇත්තේ රුපියල් 45000කට වැඩි මාසික ආදායමක් ලබන්නාගෙන් බදු අය කරන ලෙස බවත් රුපියල් ලක්ෂය දක්වා ආදායම් ලබන අය බදුවලින් නිදහස් කර ඇත්තේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගතවීමට නොහැකි වුවහොත් රට සති දෙකකට වඩා පවත්වාගෙන යා නොහැකි බවත් අමාත්‍යවරයා පවසා තිබිණි.

රට මේ තත්ත්වයට ඇද දැමුවෝ හිසෙන් බසින රෝගයක් නොමැතිව නිරුපද්‍රිතව සිටිති. මෙරට …පොදු ජනයා මෙන්ම වෘත්තියවේදීහු එම ශාපය වෙනුවෙන් තම ආත්මයෙන් වන්දි ගෙවමින් සිටිති. මෙබඳු රටක ජීවත්වීමේ ඇති අරුත කුමකටදැයි වෘත්තියවේදීහු ප්‍රශ්න කරති. රටට මීටත් වඩා අත්වීමට විනාශයක් නොමැති බව අපි දැඩිව අවධාරණය කරමු.

(***)