වෙඩි හඬින් ගිගුම් දෙන දකුණේ එකම මළ ගමකි. මළ දරුවන් වෙනුවෙන් තැවෙන දැවෙන අම්මාවරුන්ගේ සහ පියවරුන්ගේ විළාපයෙන් දකුණ සැළුම් වෙවුළුම්කමින් තිබේ. කඳුළ වපුරා මරණය අස්වද්දන ශාපලත් ඉරණමෙන් දකුණ මුදාගැනීමේ මෙහෙයුම එයට අවශ්‍ය බරින් හා වේගයෙන් පෙරට ගත යුතුව තිබේ.
පිටිගල, හොරන්ගල්ල හා අම්බලන්ගොඩ, ගලගොඩ යන ප්‍රදේශවලදී ඉකුත් 11 වැනිදා රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම්වලින් මියගිය සිවුදෙනාගෙන් තිදෙනකු ද තුවාල ලැබූ හය දෙනා ද අහිංසකයන් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසන බව අප පුවත්පත ඊයේ වාර්තා කළේය.
නිරායුධ, සාමයට ළැදි පුරවැසියන්ගේ ජීවන ඉරණම නාඳුනන තුවක්කුකරුවන් අතින් විසඳෙමින් තිබෙන්නේ එසේය. ලෙයට ලෙය ඉල්ලන, මරණයට මරණය ඉල්ලන පාහර නාඳුනන තුවක්කුකරුවාගේ අනුඅංකයක් නැති ගිනි බට ඉදිරිපිට දණින් වැටී අභය දානය ඉල්ලා සිටීමට පුරවැසියාට සිදුවී තිබේනම් එය රටක් නොව චිකාගෝවකි.
මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට මාර්තු 12 වැනිදා දිනය දක්වා කාලය තුළදී වෙඩි තැබීමේ සිදුවීම් 30කින් මිනිස් ජීවිත 21 ක් අහිමිවී තිබෙන බවත් පුද්ගලයන් 14 දෙනකු තුවාල ලබා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර තිබේ. වෙඩි තැබීමේ සිදුවීම් තිහෙන් සිදුවීම් 18 ක් පෞද්ගලික හේතු මත සිදුකර ඇති බවත් ඉතිරි සිදුවීම් 17 සංවිධානාත්මක අපරාධකරුවන්ගේ වෙඩි තැබීම් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කර තිබිණි.
මෙහිදී අවධානය යොමු කළ යුතු කාරණයක් තිබේ. එනම් පෞද්ගලික කාරණාවලටත් වෙඩි තබන්නේනම් ගිනි අවි කෙතරම් ප්‍රමාණයක් සමාජගත වී තිබේද යන්නය. දැහැමි රාජ්‍යයක්, ධර්මද්වීපයක් ලෙස විශේෂ නාමකරණයට ලක් කළ ද රට සැබැවින්ම ස්වයංපෝෂිත වී තිබෙන්නේ කුඩුවලින් හා ගිනි අවිවලිනි. රටේ අනාගතය සම්බන්ධයෙන් බරපතළ තිගැස්මක් නිර්මාණය වන්නේ ඒ අනුව ය.
සක්‍රිය හමුදා සේවයේ නියැළෙන ඇතැම් සෙබළුන් කඳවුරුවලින් පිටව ගොස් ඝාතනය කිරීම් සිදුකර යළිත් හොර රහසේම කඳවුරුවලට යෑම ඔප්පු වූ කාරණාවකි. මේ වූ කලී මෙයට පෙර නොතිබි තත්වයකි. කුමන හේතුවක් මත හෝ එම සෙබළු එබඳු අපරාධවලට යොමු වෙති. එහෙයින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුය.
සංවිධානාත්මක අපරාධ කල්ලිවල මහ මොළකරුවන් බොහෝවිට සිටින්නේ රටින් බැහැරව ය. ඩුබායි රාජ්‍යයත්, ඉන්දියාවත් ඔවුන්ගේ තිප්පොළවල් බවට පත්වී තිබේ. මහ මොළකරුවෝ එහි සිට අපරාධ සැලසුම් කරති. පසුව මෙරට සිටින ගෝලබාලයන් ලවා එම සැලසුම් ක්‍රියාත්මක කරවති. ඒ සඳහා අවශ්‍ය මුදල් කුඩු ව්‍යාපාරය හරහා පහසුවෙන් ලබාගත හැකිය. ඒ අනුව පැහැදිලිවන්නේ පාතාලයත්, කුඩු ව්‍යාපාරයත් යනු දෙකක් නොව එකක් බවය. මැඬලිය යුත්තේ මේ දෙකම එකට ගෙන මිස වෙන වෙනම නොවේ.
පාතාලයෙන් තම දරුවන් බේරා ගැනීම මව්පියන්ගේ ප්‍රධාන වගකීම බවට පත්වී තිබේ. එහෙයින් විශේෂ අවධානය යොමු කළ යුතු වන්නේ දරුවන් පාතාලයේ මැරයන් බවට පත් නොකිරීමට ය. නොඑසේනම් රටට සිදුවන්නේ වෙඩි උණ්ඩ සමග සමාදානයෙන් සැතපීමට ය.
(***)