නැවේ ගින්න උගන්වන පාඩම


අපේ රටට මහත් ව්‍යසනයක් විය හැකිව තිබූ ‘‘නිව් ඩයමන්ඩ්’’ බොර තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව ප්‍රකාශයට පත්වීම මහත් සැනසිල්ලකට හේතුවකි. ශ්‍රී ලංකාවට නැගෙනහිරින් පිහිටි මහ මුහුදේදී ගිනිගෙන දැවෙමින් තිබූ නැව පසුගිය දින කිහිපය තුළ රටේ ප්‍රධාන ‘‘කටගැස්ම’’ බවට පත්ව තිබිණි. මේ ‘‘කටගැස්ම’’ යහමින් තලු‍මැරුව ද නැවේ ගින්න තෙල්වලට ඇවිළී මහත් ගිනි විජ්ජුම්බරයක් වනු ඇතැයි යන තැතිගැන්ම ද රටේ සියලු‍දෙනා තුළම තිබුණද ගින්න පාලනය කිරීම පිළිබඳ ආරංචිය සියලු‍දෙනාටම සැනසුමක් ළඟාකර දුන්නේය. එහෙත් හදිසියේම යළිත් නැවේ ගින්නක් හටගත් බවත් එය නිවා දැමීමට කටයුතු කරන බවත් පසුගිය අඟහරුවාදා (07) වනවිට වාර්තා වී තිබිණි.

නැවක ගින්නක් ඇතිවීම වෙනත් ගිනිවලට වඩා මහත් භයානකය. අදාළ නැව බොරතෙල් ප්‍රවාහනය කෙරෙන නැවක් නම් එවැනි ගින්නක් අති භයානකය. හේතුව ගිනි රස්නෙට තෙල් බැරල් ගිනිගෙන නැව පුපුරා ගියහොත් සිදුවිය හැකි හානිය ගණනය කළ නොහැකි තරම් වන බැවිනි. එම හානිය ඇතිවන්නේ තෙල් විනාශවීම හෝ නැව විනාශ වීම නිසා හෝ පමණක් නොවේ. එම හානි දෙකටම ජාත්‍යන්තර නැව් රක්ෂණයෙන් වන්දි ලබාගත හැකිය. එහෙත් නැවෙන් මුහුදට කාන්දු වන තෙල්  ඇතිකරන බරපතළ පරිසර හානියට වගකියන කෙනෙකු නැත. මුහුදු ජලය මත විසිරෙන තෙල්වලට ගින්න පැතිරීමෙන් සහ තෙල් තට්ටු පිටින් මුහුදේ පාවීම නිසා නාවික සැතපුම් විශාල ප්‍රමාණයක මුහුදේ ජෛව පද්ධතියට සිදුවන හානියේ අහිතකර බලපෑම් වලින් නිසැකවම පීඩා විඳීමට සිදුවන්නේ මෙරට ජනතාවටය. ඒවාට වන්දි ලබා ගැනීම පහසු නැත. මේ සියලු‍ කරුණු සලකා බැලීමේදී ‘‘නිව් ඩයමන්ඩ්‘‘ නෞකාවේ ගින්න නිවා ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයකි. එම අපහසු, දුෂ්කර අභියෝගය ජයගත් සියලු‍ නිලධාරීන්ට රටේම ගෞරවය හිමිවිය යුතුය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩ නිකුත් කරමින් එම නිලධාරීන්ට ස්තූතිය පුදකරන බව ප්‍රකාශ කර තිබිණි. සිය ජීවිත අවදානම පවා නොතකමින් නෞකාවේ ගින්න පාලනය කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද, නාවික හමුදාවේ ද, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හා ඉන්දීය ආරක්ෂක අංශවල ද නිලධාරීන්ට සිය හදපිරි ස්තූතිය පිරිනමන බව එම පණිවුඩවල සඳහන්ය. ‘‘සමුද්‍රීය ජෛව සම්පත ආරක්ෂා කර ගැනීමෙහි ලා ඔබගේ මෙහෙවර මම බෙහෙවින් අගය කරමි’’ යනුවෙන් ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවුඩයේ සඳහන්ව තිබිණි. රාජ්‍ය නායකයන්ගේ එවැනි ස්තූති පුදකිරීම් එකී භාරදූර කාර්යයට සිය සක්‍රීය දායකත්වය සැපයූ සියලු‍ නිලධාරීන්ට මහත් ශක්තියක් සහ ධෛර්යයක් වන බව සඳහන් කරනු කැමැත්තෙමු.

එසේ වුවද ගින්න නිවීමට හවුල් වූ නිලධාරීන්ගේ උත්සාහය අපතේ ගොස් නැවේ තෙල් ගිනිගත්තා නම් අපගේ රට වටා පිහිටි මුහුදු තීරයේ වැඩි කොටසක ජෛව සම්පතට සිදුවන්නේ කිව නොහැකි හානියකි. එවැනි අවස්ථාවක සිදුවන හානියට වගකිවයුතු පාර්ශ්වය සොයා ගැනීම පවා මහත් දුෂ්කර කටයුත්තකි. ඒ බව පෙන්නුම් කළ එක් අවස්ථාවක් වූයේ මීට වසර 10කට පෙර මෙක්සිකෝ බොක්කේ ගැඹුරු මුහුදේ දී බ්‍රිතාන්‍ය පෙට්රෝලියම් ආයතනයේ තෙල් ළිඳක කාන්දුවක් හේතුවෙන් සිදුවූ පරිසර හානියයි. එයට ගෙවන ලද වන්දිය අදටත් කිසිවෙක් හරිහැටි නොදනිති. එහෙත් සිදුවූ සමුද්‍ර පරිසර විනාශය අතිමහත් විය. අදටත් එහි උපත ලබන කකුළුවන් පවා ආබාධිත බව සොයා ගෙන තිබේ. ශ්‍රී ලංකාව එම තත්ත්වයෙන් ගැලවීම මහත් වාසනාවකි.

කෙසේ වුවද නෞකා ගිනි ගැනීම් ඇතුළු බරපතළ සමුද්‍රීය ව්‍යසනවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව පූර්ව සූදානමක නොසිටීම පිළිබඳ බරපතළ අනතුරු ඇඟවීමක් මේ සිද්ධිය සමඟ මතුව තිබේ. එම අඳුරු වලාවේ රිදී රේඛාව වූයේ අපගේ වීරෝදාර හමුදාව බව ද අවිවාදිතය.

 කිසිදු සූදානමක නොසිටියත් අවස්ථානුකූලව කටයුතු කරමින් එම ගින්න මැඬපැවැත්වීමට මෙන්ම මෙරට වෙරළ තීරය දෙසට තල්ලු‍ වෙමින් තිබූ නැව නාවික සැතපුම් 40ක් දුර ගැඹුරු මුහුද දක්වා රැගෙන යාමටත් සිදුකළ මෙහෙයුමට ද ඔවුන් ලබාදුන් දායකත්වය ඉතිහාසගතය. මෙහිදී ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් උදව්වට පැමිණි ඉන්දීය නාවික හමුදාවටද හම්බන්තොට නැංගුරම් ලා තිබූ රුසියානු නැව් දෙකේ කාර්ය මණ්ඩලයට ද ගෞරවය හිමිවිය යුතුය. එහෙත් ඉදිරියේ දී මෙවැනි ව්‍යසනයක් හමුවේ ප්‍රතිචාර දැක්වීමට විධිමත් වැඩපිළිවෙළක් සැකසීමට රජය ප්‍රමුඛත්වය දිය යුතු බවට ද ඒ සමඟ පෙන්වා දීමට කැමැත්තෙමු.

අප එසේ කියන්නේ 2017 වසරේදී අපගේ මුහුදු තීරයේ දී අනතුරට පත් කන්ටේනර් නෞකාවක් වූ එම්.එස්.සී. ඩැනියෙලා නෞකාව ගින්නෙන් අනතුරට ලක් වූ අවස්ථාවේ ද ඉන්දීය නාවික හමුදාවේ සහාය ලබා ගැනීමට සිදුවූ බව සිහිපත් කරවමිනි. එම අනතුර සිදුවූ අවස්ථාවේදී ද නැව් ආපදාවලට මුහුණ දීමට හැකි ආරක්ෂණ පද්ධතියක අවශ්‍යතාව පෙන්වා දුන්නත් මේ වන විටද එවැන්නකට අතගසා නැති බව පෙනේ. ශ්‍රී ලංකාව අවට සමුද්‍රීය ආර්ථික කලාපය හරහා වසරකට ටොන් මිලියන 55කට වඩා තෙල් ප්‍රවාහනය කෙරෙන බව ද සඳහන්ය. එවැනි තත්ත්වයක් පවතිද්දීත් අපේ රට අවට මුහුදේ ගින්නක් පත්තු වූ විට එය නිවා දැමීමට සුදුසු යාන්ත්‍රණයක් තවම සකසා නැතිවීම කනගාටුවකි.

එවැනි යාන්ත්‍රණයක අවශ්‍යතාව මේ සිද්ධියත් සමඟ වත්මන් රජය හොඳින්ම තේරුම්ගෙන ඇතැයි අපගේ විශ්වාසය වෙයි. එයට ප්‍රමුඛත්වය ලබා දී ඒ සඳහා ප්‍රවේශය ගැනීමට හෝ කටයුතු කිරීම අවශ්‍යය. එසේ සිදු නොකර ‘‘ඩයමන්ඩ්’’ නැවේ ගින්න ඇතිවීම හෝ ඒ සඳහා කටයුතු කිරීමට යාන්ත්‍රණයක් නොතිබීම හෝ පිළිබඳ සෙවීමට කමිටු පත් කිරීමෙන් නම් කිසිදු පලක් නැත.

(***)