‘නිදහස’ යන අකුරු හතරේ අරුත එයට හිමි නිසි අර්ථයෙන්ම හඳුනා ගැනීමට ඉඩ හසර වෙන් කළ හැත්තෑ හතර වසරකට පසුව හැත්තෑ පස් වැනි නිදහස් සමරුව අදට යෙදී තිබේ. කවර දුෂ්කරතා අභියෝග හා ආපදා පැවතිය ද වසර හාර පන්සියයක් අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවට පෑගි සිට දිනාගත් නිදහස එයට හිමි ගෞරවණීයත්වයෙන් යුතුව සැමරීමේ කෘතවේ දී මිනිස් ප්‍රජාව සමග ලංකාදීපය ද දේශවාත්සල්‍යයෙන් හා ජාතිකාභිමානයෙන් යුතුව නිදහස් සමරු සමග මෙසේ අත්වැල් බැඳ ගනී.
75 වැනි නිදහස් සමරුව පවත්වනු ලබන්නේ කුමනාකාර පරිසරයක සිට ද යන්න වටහා ගැනීම අසීරු නැත. සැබැවින්ම නිදහස නිදහසේ සැමරීමට නොහැකි අභාග්‍යවත් පරිසරයක සිට මෙම නිදහස් සමරුම පැවැත්වේ. මෙබඳු පරිසරයක් නිර්මාණය වූයේ අහම්බයෙන් නොවන බව ඉඳුරාම ප්‍රත්‍යක්ෂය. ඊළඟ පරම්පරාව නොව ඊළඟ මැතිවරණය ඉලක්ක කරගත් බලකාමි දේශපාලනඥයන් විසින් හා රාජ්‍ය පාලනයේ දිග පළල කෙසේ වෙතත් අයනු ආ යනු නොදන්නා මුග්ධ බව උද්ධච්ඡ බව සාඩම්බර පදක්කමව පැළැඳි පාලකයකු විසින් මේ රට යළිත් අඳුරු වහල් කඳවුරකට තල්ලු කර තිබේ.
නිදහස යන්නෙන් අර්ථවත් වන්නේ දීන භාවයෙන් හා දාස භාවයෙන් මිදීමය. එය දේශපාලන නිදහස පමණක් නොවේ. සමාජ ආර්ථික නිදහස ද එයට අයත්ය. එහෙත් අප මේ ගෙවා දමමින් සිටින පැය තුළ ජාත්‍යන්තරයෙන් ලබාගත් ණය ගෙවිය නොහැකි යැයි පවසමින් එම ජාත්‍යන්තරය තුළ අපගේ බංකොලොත් භාවය පිළිගත් රටක් නිර්මාණය වී තිබේ. ලෝක ආර්ථික බලවතුන් අපට ඉළපතෙන් පහරදී එළවා දමා ඇති පසුබිමක ඔවුන්ගෙන් සානුකම්පිත ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි යන දරිද්‍ර සිතිවිල්ලෙන් දවස් ගෙවා දැමීමට පොදු මහජනයාට සිදුවී තිබේ. මෙබඳු පරිසරයක සුරැකිව ඇති නිදහස කුමක්දැයි වටහා ගැනීමට පුරවැසියාට අමුතු නුවණක් අවැසි නොවේ.
ලේ බිඳකුඳු නොසෙල්වා නිදහස දිනා ගත්තේ යැයි පැවසුව ද අතීත සුජාත භූමි පුත්‍රයන් ‘නිවට බවට වඩා මරණය උතුම්’ යැයි අදහමින් රණකාමිත්වයෙන් රණපතාපයෙන් පණ පෙවූ නිදහස් අරගලයන්හි කම්පන බලපෑම හිරු නොබසින අධිරාජ්‍ය සැළුම් වෙවුළුම් කැවීමට සමත් වූ බව අවිවාදිතය. ‘දෙදණින් වැටී ජීවත්වීම වෙනුවට දෙපයින් නැගී සිට මිය යාමේ මාවත එදා සිට අපගේ මාවත විය. එහෙයින්ම ඕනෑම අගතියක් කුදලා දැමීමේ අයෝමය ශක්තිය අප ජාතිය සතුව විය. ඉතිහාසයක් පුරා අප ජාතියට ‘අභියෝග’ යනු අවස්ථාවක් වූවා මිස අභියෝග හමුවේ වැටුණු ජාතියක් නොවීය.
අනාගතය සම්බන්ධයෙන් අවිනිශ්චිත ශෝකාකුල හා විඩාබර හැඟීම් පහළ වෙමින් තිබෙන පසුබිමෙක මග කියන නැකත් තරුවක් සේම ප්‍රදීපාගාරයක් සේම ඉතිහාසය පෙරට ගත යුතුය. ‘ලේ බිඳ කුඳු නොසෙල්වා නිදහස දිනා ගත්’ බව පැවසුණ ද එසේ දිනාගත් නිදහස රැක ගැනීමට ලේ විල් මිනී කඳු මෙම බිම තුළ ඉදිවිය. ජීවත්වීම සඳහා තමන්ගේ යැයි අයිතිය ඇති බිම් කඩක් මේ රට තුළ අහිමි වුවද සුජාත දූ පුතුන් මව්බිමේ නිදහස වෙනුවෙන් ඇස්, ඉස්, මස් ලේ හා ජීවිත දන් දුන්හ. වීරබා, විජය බා, ජය බා, ගජබා, පැරකුම්බා, වළගම්බා, ගොන්ගාලේ ගොඩබණ්ඩා, වීර පුරන්අප්පු ආදී පරම්පරාවල යශෝරාවය රැක ගනිමින් රට සියල්ලටම වඩා පෙරට යැයි ඇදහු පරම්පරාවන්ගේ රුධිරය මගින් 75 වැනි නිදහස් සමරුම දක්වා අප පැමිණ තිබේ. ඒ රුධිරය කෘතවේදීව සිහිපත් කිරීම මේ මොහොතේ හුස්ම ගන්නා සෑම පුරවැසියකුගේම අත්හළ නොහැකි වගකීමකි.
එළැඹ ඇත්තේ අතීතයෙන් පාඩම් ඉගෙන ගනිමින් අනාගතය ගොඩනගන මං පෙත් සෙවීමය. හැත්තෑ හතර වසරක් පුරා පක්ෂ පාට වශයෙන් මෙන්ම ජාති ආගම් කුලමල වශයෙන් ද බෙදී අපි ඇනකොටා ගත්තෙමු.
තමන්ගේ විමුක්තිය ඇත්තේ අනෙකාගේ රුධිරය තුළ යැයි සිතමින් උප්පැන්න සහතිකය විමසා පෙරළා මරා කෑමට පැන්නෙමු. ඒ මාර්ගය තුළ අත්පත් කර ගත හැකි විමුක්තියක්, ජයග්‍රහණයක් නොමැත යන්න ඒකාන්ත වශයෙන්ම සහතික වී ඇති පරිසරයක අපි 75 වැනි නිදහස් සමරුව පවත්වමු.
ඉතිහාසයේ පාඩම නම් මේ රට ගොඩගත හැකිය යන්නය. එහෙත් එය තනි පුද්ගලයකුට හෝ හාස්කම්වලින් හෝ මනෝ රාජිත සංකල්පවලින් කළ නොහැක. එයට අවංක, අව්‍යාජ සාමූහික ප්‍රයත්නයක් ඇවැසිය. ඒ වෙනුවෙන් මුළු රටම, මුළු ජාතියම, මුළු ජනතාවම එකාවන්ව පෙළ ගැසිය යුතුය යන්න ලංකාදීපයේ ආයාචනය වේ.
(***)