නියමිත වෙලාවට ඡන්ද ප්‍රජාතන්ත්‍රවාදයේ හරයයි


රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පරමාධිපත්‍යයේ බලය පවරා තිබෙන්නේ මහජනතාවටය. මහජනතාව එම පරමාධිපත්‍යයේ බලයෙන් තමන්ගේ නියෝජිතයන් පාර්ලිමේන්තුවට යවති. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත් කර ගනිති.

රටේ බහුතර කැමැත්ත අනුව එම සියලු දේ සිදුවේ. ප්‍රජාතන්ත්‍රවාදය යන්නෙන් අර්ථවත් වන්නේ එයයි. එම ප්‍රජාතන්ත්‍රවාදය එයට හිමි බරින් ක්‍රියාත්මකවීමට සුසංගත පරිසරයක් රටේ තිබිය යුතුය. අවාසනාවකට මෙන් එයට බාධා කෙරෙන තත්වයක් රට තුළ වරින්වර පැන නැගී තිබේ.

අප පුවත්පත නොබෝදා වාර්තා කළ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කියැවුණේ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමට මැතිවරණ කොමිසම ඍජුවම වගකිවයුතු බව නීතිපතිවරයා පෙන්වා දුන් බවය. එමෙන්ම පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ගත් ත්‍රියාමාර්ග නීතියට පටහැනි මෙන්ම වැරැදිසහගත බව සඳහන් කරමින් මැතිවරණ කොමිසමේ ක්‍රියා කලාපය නීතිපතිවරයා දැඩි දෝෂ දර්ශනයට ලක් කළ බවද එහි සඳහන් විය.

පළාත් පාලන මැතිවරණය යනු ගමේ ඇති පරිපාලන ඒකකයට තෝරා පත්කර යැවෙන මැතිවරණය වේ. එම අවස්ථාව ජනතාවට තමන්ගේ සර්වජන ඡන්ද අයිතිය උරගා බැලීමට ලැබෙන පළමු අවස්ථාව වේ. එම මැතිවරණය නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන ගොනුකර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරීන් පුල්ලේ මහතා කරුණු දක්වමින් සඳහන් කර සිටියේ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් එයට මැතිවරණ කොමිසම ඍජුවම වගකිවයුතු බවත්ය.

නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා නිසි කලට මැතිවරණ පැවැත්වීම අනිවාර්ය කොන්දේසියකි. රටේ පුරවැසියකු ලෙස තමන් අභිමත අරමුණු කරා ගමන් කිරීමේ නිදහස් ඉඩකඩක් ඊට තිබිය යුතුය යන අදහස අර්ථවත් වීමට නම් මැතිවරණ නිසි කලට පැවැත්විය යුතුය. එම අදහසට නිදහස් ඉඩක් නොමැති බව පෙනුණ විට එතැනට කැලෑ නීතිය ආදේශවීම බලාපොරොත්තු විය යුත්තකි. එබඳු ලේ ගලන අත්දැකීම් සාමජය සතුව තිබේ.

ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදී මහ මැතිවරණය නොපවත්වා ජනමත විචාරණයක් මගින් පාර්ලිමේන්තුවේ ආයු කාලය දිගුකර ගත්තේය. එය තරුණ ප්‍රජාවට බරපතළ ලෙස බලපෑවේය. රටේ පාලනයට හවුල් වීමට තමන්ට ඉඩක් නැතැයි තරුණයාට සිතීම සාධාරණය. අවසානයේදී එම සිතිවිල්ල පුපුරා ගියේ ප්‍රචණ්ඩ ආකාරයෙනි. හැට දහසකගේ මළ කඳන් මතින් එම සටන නිමා වුවද එම සටනේ ගැඹුරු පාඩම නිසැක ලෙසම අධ්‍යයනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අභිලාසයන්ගෙන් යුත් සියලු දෙනාගේම වගකීමය.

යාපනයේ පැවැති සංවර්ධන සභා මැතිවරණයේදී කොළඹින් ගිය මැරයන් අතින් යාපනය පුස්තකාලය ගිනිබත් විය. එම ගිනිලෑම යාපනේ තරුණයාගේ ළය විනිවිද ගිය කිණිසි තුඩක් බඳු විය. එහි තාර්කික ප්‍රතිඵලය වූයේ මරාගෙන මැරෙන මිනිස් බෝම්බ නිෂ්පාදනය කර ගැනීමට ප්‍රභාකරන්ට පහසු ඉඩක් ලැබීමය.

ඉහත අත්දැකීම් දෙක තුළින් වුවද ඡන්ද සමග සෙල්ලම් කිරීම භයානක බව පැහැදිලි කරගත හැකිය. පළාත් පාලන මැතිවරණය කල්දමනු ලැබුවේ ඒ සඳහා මුදල් ප්‍රතිපාදන නොමැති නිසා බවට කියැවිණි. එහෙත් එය තම තමන්ගේ වර්ණයට අනුව විවරණය කර ගැනීමට හැකිය. පළාත් සභා මැතිවරණයට සිදුවූයේ කුමක්ද යන්න විමසිය යුතුය. ජනාධිපතිවරණය නොපවත්වා වත්මන් ජනාධිපතිවරයාට තව වසර 2 ක් දිය යුතුයැයි එජාප මහලේකම්වරයා ප්‍රකාශයට පත් කර තිබේ. එබඳු තීරණවලින් සිදුවනු ඇත්තේ සමාජ දේහය රෝගී වීම පමණකි. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඇති විශ්වාසය බිඳී යාම පමණකි. එය රටට හිතකර නොවේ.

(***)