අරලියගහ මන්දිරය ඉදිරිපිටදී සහ ගාලුමුවදොර ගෝඨා ගෝගම අරගල භූමියේ සිදුවූ මැර පහරදීම්වලින් පසුව රට පුරා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ යැයි කියැවෙන 700කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය ප්‍රකාශ කර ඇත. මේ පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසිවලට ලැබුණු පැමිණිලි 791කට අදාළව බවද අත්අඩංගුවට පත්වූවන් අතුරින් 272 දෙනකු රිමාන්ඩ් භාරයට පත්කරන ලද බවද සඳහන්ය. මේ අත්අඩංගුවට ගැනීම් සහ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම් දිගටම සිදුවෙමින් පවතී.
මැයි 09 වැනිදා දවස මේ රටේ මෑත කාලීන ඉතිහාසයේ කළු දවසක් වශයෙන් ඉතිහාසයට එක්වී තිබේ. මේ කළු දවස ලෙයින් සහ ගින්දරෙන් ද මිනිස්කමට නිගා දෙන අමානුෂික සිදුවීම්වලින්ද සලකුණු කිරීමට ඍජුව හෝ අනියම් ලෙස හෝ දායක වූ පිරිස් ද මේ වනවිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්වූවන් අතර සිටිතියි අපි සිතමු. චෝදනා ඔප්පු වනතුරු ඔවුන් නිවැරැදිකරුවන් බව සැබෑවකි. එහෙත් තමන් විසින් සිදුකරන ලද අමානුෂික ක්‍රියාවල මතක සටහන් ඔවුන්ගේ හෘද සාක්ෂිය සැමදා පෙළනු ඇත. කුමන තරාතිරමක හෝ පුද්ගලයකු සතු නිවෙස් සහ වාහන ඇතුළු දේපළවලට ගිනි අවුළුවා ඒ දෙස බලා සැනසීමට හැකියාවක් ඇත්තේ නරුම පුද්ගලයන්ට පමණි. එවැනි නරුම පුද්ගලයෝ මැයි 09 රාත්‍රියේ රට පුරාම විසිරී සිටියහ.
රට ගිනි තබන ම්ලේච්ඡ ක්‍රියා ආරම්භ වූයේ ගාලුමුවදොර අරගලයේ නිරතව සිටි සාමකාමී තරුණයන්ට පහරදීම හේතුවෙන් වුවද එයට එරෙහිව රටේ විවිධ ප්‍රදේශවලින් එල්ල වූ ආවේගාත්මක ප්‍රතිප්‍රහාරවල දකින්නට තිබුණේ ඊටත් වඩා අමානුෂික බවකි. ඒ අතරේ පණ පිටින් මිනිසුන් සහ කාන්තාවන් අල්ලා බේරේ වැවට තල්ලු කර ජීවිත විනාශ විය හැකි අවදානමකට ඔවුන් ඇද දමනු දැකිය හැකි විය. ඒ ඇතැම් පුද්ගලයන් ඇඳුම් ගලවා ඇවිදීමට සැලැස්වීමත් එවැනි අමානුෂික ක්‍රියාවකි. ඒ ආකාරයේ නිරුවත් කර පහරදීම් ගණනාවක් පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. එසේම කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීවරියගේ නිවෙසට පහර දී ගිනි තැබූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පිරිස අතරේ ප්‍රදේශයේ හිමි නමක් ද වූහ. රජරට ප්‍රදේශයේ ද එවැනිම සිදුවීම් වාර්තා විය. මේ හිමිවරුන් කොතරම් දුරකට ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ දැයි අපි නොදනිමු. එහෙත් යම් පමණකින් හෝ ඔවුන්ගේ දායකත්වයක් ප්‍රචණ්ඩ ක්‍රියාවලට ලැබී තිබුණා නම් එය බෞද්ධ චීවරයද කිළුටු කිරීමක් බව සඳහන් කළ යුතුය.
අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයා ඝාතනයට ලක්වීමද එවැනිම අමානුෂික ප්‍රහාරයක ප්‍රතිඵලයකි. පණ බේරාගැනීමට දිව ගිය එම මන්ත්‍රීවරයාත් ඔහුගේ ආරක්ෂකයාත් ඉන් පසුව දැකගත හැකි වූයේ මළසිරුරු හැටියටය. මන්ත්‍රීවරයා දිවි නසාගෙන ඇතැයි මුලින් කටකතා පැතිරී ගියද පශ්චාත් මරණ පරීක්ෂණයේදී සඳහන් වූයේ හිසට මොට ආයුධයකින් පහරදීම එම මරණයට හේතුව බවය. එය මිනීමැරුමකි. එකී මිනීමැරුමට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගත යුතුය. එසේම එම අවස්ථාවේදී සිදුවූ වෙඩි තැබීමකින් එක් තරුණයකු මියගොස් තවත් දෙදෙනකුට තුවාල සිදු වී තිබිණි. එලෙස ඝාතනය වූ තරුණයා සම්බන්ධයෙන් ද යුක්තිය ඉටුවිය යුතුය.
කුමන තත්ත්වයක් යටතේ වුවද රටක නීතිය අතට ගැනීමට කිසිවකුටත් ඉඩක් තැබිය යුතු නැත. එය රටේ පොදු මහජනතාවට පමණක් නොව දේශපාලනඥයන්ටද එක සේ අදාළය. පොලීසිය බලා සිටියදී අතේ තිබෙන පොලු මුගුරුවලින් සාමකාමී අරගලයක නිරත නිරායුධ පිරිසකට පහර දීමට දේශපාලනඥයන්ටද කිසිදු අයිතියක් නැත. එම මැර ක්‍රියාවට දායක වූ එම දේශපාලනඥයන් සහ ඔවුන්ගේ හෙංචයියන් උසිගැන්වූ සියලු දෙනාට එරෙහිවද නීතිය එක සේ අප්‍රමාදව ක්‍රියාත්මක කිරීම අවශ්‍යය. මහා විනාශයකට පාර කැපූ පිරිසකගෙන් දෙතුන් දෙනකු පමණක් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පැමිණවීම ප්‍රමාණවත් නැත. එය මහජනතාව දකිනු ඇත්තේ තමන් නොමග යවන ඇස් බැන්දුමක් වශයෙනි. යුක්තිය ඉටුවෙනවා සේම එය ඉටුවන බව පෙනෙන්නට ද තිබිය යුතුය.
රටක පෞද්ගලික හෝ පොදු දේපළවලට පලිගැනීමේ චේතනාවෙන් පහර දී ගිනි තැබීමට කිසිදු පුද්ගලයකුට අයිතියක් නැත. මේ කුමන දේපළක් වුවද පහරදීමෙන් වැනසෙන්නේ රටේ සම්පත් බව අමතක නොකළ යුතුය. දේශපාලනඥයන් සතු දේපළවලට කොතරම් බරපතළ හානියක් සිදු වුවද ඔවුන්ට ඒවා වෙනුවෙන් රක්ෂණ වන්දි ලබාගැනීම හෝ පෞද්ගලික වශයෙන් වන්දි ලබාගැනීම හෝ ඉතා පහසුය. එහෙත් ඒ වෙනුවෙන් අවසානයේ වැය වෙන්නේ රටේ මහජනතාව විසින් ගෙවන බදු මුදල් බව කලහකාරීන් කවදාවත් තේරුම් ගන්නේ නැත. ප්‍රචණ්ඩත්වය යනු අනෙකාත් විනාශ කරගෙන තමා ද විනාශ වෙන අපරාධයක් බව බොහෝ දෙනකුට තේරුම් යන්නේ හිරේ විලංගුවේ වැටුණු පසුය.
ආර්ථිකයේ ගෙල සිරවී අවසන් හුස්ම පොද රැකගන්නට පොර බදන අපේ රටට තවත් මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා දරාගැනීමට හැකියාවක් නැත. ඒ බව වටහා ගැනීමකින් තොරව නීතිය අතට ගැනීම රට මකර කටටම තල්ලු කිරීමකි.
(***)
(ඡායාරූපය - ඩේලිමිරර් අනුග්‍රහයෙනි)