නීතිය අතට ගෙන දඬුවම් දෙන අපේ නරුම මිනිස්සු


සෙත් පිරිතෙන් අවදිව මහ පිරිතෙන් නින්දට යන සදාචාරවත් සමාජයක් ලෙස අප සමාජයට දුරාතීතයේ ඉහළම පිළිගැනීමක් තිබිණි. එමගින් කියැවෙන්නේ කිසිඳු  අපරාධයක් අතීතයේ සිදු නොවූ බව නොවේ. එකලද අපරාධ සිදුවිය. එහෙත් ඒ මෙකල මෙන් එකක් පසුපස එකක් වශයෙන් නොවේ. එකල එනම් මෙයට වසර තිහ හතළිහකට ඉහත දී දුම්රියේ ගැටී මිනිසකු මිය ගියහොත් එය බැලීමට කිලෝමීටර් ගණන් දුර ගෙවා මිනිස්සු ආහ. කවි කොළ ගසා ප්‍රචාරය දීමට තරම් බරපතළ සිදුවීම් ඉතා විරළ විය.

කාලය වේගයෙන් ගෙවී ගොස් තිබෙන්නේ සියල්ල උඩු යටිකුරු කරමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස කඳුළ වපුරා මරණය අස්වද්දන, සමාජයක් නිර්මාණය වී තිබේ. එකල පුවත්පත්වල ‘‘මරණ දැන්වීම්’’ යනුවෙන් වෙනම තීරයක් වූ අතර අද පුවත්පත් වාර්තා කරන පුවත් අතරින් බොහොමයක් මිනී මැරුම් හා වෙනත් ඛේදවාචක බවට පත්වී තිබේ.

අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ එක් ප්‍රවෘත්තියක සිරස්තලය වූයේ ‘‘ඌරුකොටුවේ සේවකයා කකුල් දෙකෙන් එල්ලා මරලා, දෙදෙනෙක් අත්අඩංගුවේ’ යනුවෙනි. එම සිරස්තලයෙන්ම අප දෙපා තබා සිටින සමාජයේ ශාපලත් බව මනාව නිරූපනය වේ. මිනිස් සමාජයකට මීටත් වඩා අත්විය හැකි විපතක් තිබේ ද යන්න මගහැර යා නොහැකි ප්‍රශ්නයකි.

අප ප්‍රවෘත්තියේ සඳහන් වූයේ ඌරු ගොවිපොළක සේවකයකු එහි තිබූ උපකරණ තොගයක් සොරාගෙන යමින් සිටිය දී අල්ලාගෙන පැය 9ක් පමණ තිස්සේ ඔලුව බිමට සිටින සේ දෙකකුලෙන් එල්ලා පහර දී ඝාතනය කර ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසන බවය. කාලිමුත්තු මහේන්ද්‍ර නැමැත්තා මෙසේ මරණයට පත්ව ඇති අතර එයට දින තුනකට පමණ පෙර එම ගොවිපෙළේ සේවයට පැමිණ ඇති බවත් අත්අඩංගුවට ගත් දෙදෙනා සමග එකම කාමරයක නැවතී  සිට ඇති බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය. මධ්‍යම රාත්‍රියේ දී මරණකරු  ගොවිපොළේ උපකරණ තොගයක් සොරාගෙන පලා යාමට උත්සාහ කිරීමේදී ඔහු අල්ලා හිස බිමට සිටින සේ එල්ලා පහරදී ඇත.

සොරකමක් හෝ වෙනත් කිසියම් අකටයුත්තක් වේ නම් කළ යුතුව තිබෙන්නේ පොලිසියට දැනුම්දීමය. එහෙත් ඒ වෙනුවට දඬුවම් කිරීමේ බලය අතට ගන්නා නරුමයෝ තිරිසන්නු සේ හැසිරෙති. මේ ඒ සම්බන්ධයෙන් වාර්තා වූ එකම සිදුවීම නොවේ. ඉකුත් සමයේ මෙබඳු සිදුවීම් බොහොමයක් වාර්තා විය. අරගලයට  මුවාවෙමින් ද ඇතැම්හු එසේ හැසිරුණාහ.

‘‘අත්තානං උපමං කත්වා. නහනෙයිය නඝාතයේ’ යනුවෙන් බුදුන් වහන්සේ වදාළ ධර්මය අපගේ ජන ජීවිතයට බොහෝ සමීපය. ‘තමන් උපමාවට ගෙන අනුන් නොනසන්න’ යන අවවාදය අපගේ ජීවන විලාසය සකස් කළේය. මරණ බියෙන් තැති නොගෙන ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය වූයේ එසේය. එහෙත් වර්තමාන තත්ත්වය බොහෝ  ශෝචනීය බව ඉඳුරාම ප්‍රත්‍යක්ෂ වී තිබේ.

  අප පුවත්පත වාර්තා කළ තවත් පුවතකින් කියැවුණේ සීදුව රද්දොලුව ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු හතරාමාරක් වයසැති ඥාති දියණියගේ ගෙල සිරකර ඝාතනය කළේ යැයි කියන පුද්ගලයා ද ගෙල වැලලාගෙන සිය දිවි හානිකර ගෙන ඇති බවය. අවුරුදු හතරක දියණිය ඝාතනය කිරීමට හේතුව අනාවරණය වී නොමැත.

මරණය සුලභ වනවිට මැරෙන්නටත් බිය නැති මරන්නටත් බිය නැති මනසක්  නිර්මාණය වීම ස්වාභාවිකය. මෙය බරපතළ සමාජ ප්‍රශ්නයක් වශයෙන් හඳුනාගත යුතුය. විශේෂයෙන් තිස් වසරක් වැනි දීර්ඝ කාලයක් පුරා සිවිල් යුද්ධයක් පැවති රටක් යුද ජයග්‍රහණයෙන් පසුව මුළුමනින්ම නිවි සැනසීම් බවට පත් නොවේ. එය  විශේෂයෙන්ම තේරුම් ගත යුත්තකි. ලේ කඳුළු හා මරණයට සම්බන්ධ පුවත් තොග වශයෙන් ඇසූ දුටු සමාජයක් කිසියම් ආකාරයක මානසික විශෝධනයට පිරිපහදුවට ලක් කළ යුතුය. එසේ නොකර ඔහේ යන්නට ඉඩ හැරීම යනු මහා ඛේදවාචක පොකුරකට රට හෙලීමකි. අද අප අත්විඳිමින් සිටින කටුක යථාර්ථය එයම  මිස අන් යමක් නොවේ.

ඉතිහාසයේ පෙර නොවු විරු ආර්ථික අර්බුදයක රට ගිලී තිබේ. මෙම පරිසරය තුළ පළමුව අභියෝගයට ලක්වන්නේ සමාජයේ පැවැත්ම වේ. මෙම ආර්ථික පීඩනය තුළ හොරකම් බහුල වේ. ඒ සඳහා මිනිස් ඝාතනවලට වුවද පසුබට නොවේ. එකිනෙකා මරා ගන්නා සමාජයක් නිර්මාණය වන්නේ ඒ අනුවය. එබඳු සමාජයක කිසිවකුගේ හෝ පැවැත්ම තහවුරු නොවේ. මෙම අවදානම වටහා ගැනීම සමාජයේ සන්සුන් පැවැත්මට වඩාත් යහපත් වනු ඇත.

(***)