ජනාධිපති ධුරයේ තමා සිටිනතාක් රටේ නීතිය හා සාමය කඩ කිරීමට කිසිවකුටත් ඉඩ නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. තමන්ගේ අරමුණ හරි දේ කිරීම මිස ජනප්‍රිය දේ කිරීම නොවන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබිණි. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේදී ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් අමතා කළ විශේෂ ප්‍රකාශයේදී මේ අදහස් පළ විය.
තමුන්ගේ පාලන ක්‍රමය සම්බන්ධයෙන් මේ ආකාරයට ඍජුව අදහස් ප්‍රකාශ කිරීම රටක නායකයකුගේ යහපත් ලක්ෂණයක් වශයෙන් අපි දකිමු. රටක නීතිය හා සාමය පවත්වාගෙන යාමට රාජ්‍ය නායකයා අසමත් වන්නේ නම්, එහිදී රටේ පාලනය බිඳ වැටීම වැළැක්විය නොහැක. එවිට බිහිවන්නේ අරාජික තත්ත්වයකි. එවැනි තත්ත්වයකදී රටට සිදු විය හැකි හානිය පසුගිය වසරේ ඇති වූ අරගලය කාලසීමාවේදී අප සියලු දෙනාටම අත්විඳීමට හැකි විය. ඒ මහා අර්බුදය අවසානයේ පාර්ලිමේන්තුවේ ආරක්ෂක වැටවල් පවා බිඳ දමමින් ඒ තුළට කඩා වැදීමට කලබලකාරී පිරිස් කළ උත්සාහය අවසානයේදී වළක්වාගනු ලැබුවේ, ආරක්ෂක හමුදා මගින් සිදු කළ මෙහෙයුමකිනි. ඒ සිද්ධිය ද ජනාධිපතිවරයා සිය කතාවේදී උපුටා දක්වා තිබූ අතර, එහිදී ආරක්ෂක හමුදා ඉටු කළ මෙහෙය සම්බන්ධයෙන් ඔහු තුති පුද කළේය.
ජනාධිපතිවරයා එහිදී තවදුරටත් කියා තිබුණේ, සාමකාමී අදහස් ප්‍රකාශයටත්, තමා විවේචනය කිරීමටත් හැකි නමුත්, වීදි කෝලාහල කිරීමට කිසිදු අයිතියක් කිසිවකුටත් නොමැති බවය. එවැනි තත්ත්වයකදී රටේ නීතියේ ආධිපත්‍යය රැකගැනීමට අසීරු වීමෙන් රට අස්ථාවරභාවයට පත්වීම වැළැක්විය යුතුය. එම කාරණය අවධානයට ගත් ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදු කළා විය යුතුය. එවැනි අවස්ථාවලදී ආරක්ෂක හමුදා නීත්‍යනුකූල ලෙස යොදවා එම තත්ත්වයන් පාලනය කිරීමට විරුද්ධ වීමට කිසිවකුටත් නොහැක.
ඒ කෙසේ වුව ද රටක ජනතාව වීදි බැස කලකෝලාහල කිරීමට තුඩු දෙන හේතු පිළිබඳ විමසිලිමත්ව කටයුතු කිරීම රටක නායකයකුගේ වගකීම බවත් පෙන්වා දිය යුතුය. එසේ විමසිලිමත්ව ජනතාවගේ සාධාරණ ගැටලු කෙරෙහි සංවේදී නොවී අත්තනෝමතික ආකාරයට තීන්දු ගැනීමේදී සිදු විය හැකි බරපතළ ප්‍රතිවිපාකවලට පසුගිය වසරේ ඇති වූ අරගලය හොඳම උදාහරණය සපයයි. එම අරගලය මුල් අවස්ථාවේදී පාරට බැස්සේ ගොවි ජනතාවය.
ඔවුන්ගේ එම සටන කොතරම් සාධාරණදැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර් යේෂණ ආයතනය පසුගියදා නිකුල් කළ සමීක්ෂණ ප්‍රතිඵලයකින් පැහැදිලිව අනාවරණය විය. 2021 මහ කන්නයේ රසායනික පොහොර භාවිතය තහනම් කිරීම නිසා එම මහ කන්නයේදී අක්කරයකට ලබාගත් වී අස්වැන්න සියයට 53කින් අඩු වී ඇතැයි එහි සඳහන් වෙයි. මේ රටේ ගොවීන් එදා පාරට බැස්සේ එම තීන්දුවේ ආදීනව පිළිබඳ කොතරම් කරුණු දැක්වුවත් ආණ්ඩුව එයට කන් නොදී තමන්ගේම මතයේ පිහිටා දරදඬු උද්ධච්ඡ ආකාරයකින් කටයුතු කිරීම හේතුවෙනි.
ඉන් පසුව එම අරගලය ගෝල්ෆේස් දක්වා පැමිණ රටේ ආර්ථිකය කඩා වට්ටා, රට බංකොලොත් කළ දේශපාලන බලවතුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් කළ උද්ඝෝෂණය මහා අර්බුදයක් බවට පත්විය. එය මුලදී සාමකාමී අරගලයක් වුව ද පසුව එය ප්‍රචණ්‍ඩකාරී විවිධ අන්තවාදී දේශපාලන අරමුණු තිබූ පිරිසක් අතට පත්වීමෙන් රට මහා අනතුරකට මුහුණ දුන්නේය. එම අවස්ථාවේදී නීතියට එරෙහිව ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල යෙදුණු සියලු දෙනා නීතිය හමුවට පමුණුවා ඔවුන්ට දඬුවම් දීම අවශ්‍යය. එසේම එම නීතියම රට බංකොලොත් කළ දූෂිත දේශපාලනඥයන්ට සහ නිලධාරීන්ට එරෙහිව ද ක්‍රියාත්මක විය යුතුය. ඔවුන් ද රටේ නීතිය හා සාමය බිඳ දැමීමේ පාපකර්මයට දායකවූවන් බැවිනි.
සාමකාමී අදහස් ප්‍රකාශ කිරීම සහ නායකයා විවේචනය කිරීම ප්‍රචණ්‍ඩත්වයට පෙරළෙන්නේ සාධාරණ ඉල්ලීම් කෙරෙහි ආණ්‍ඩුවේ නායකයන් සංවේදී නොවීම හේතුවෙන් බව ඉතිහාසය අපට කියා දෙන පාඩමයි. පසුගිය වසරේ රටේ ඇති වූ කලකෝලාහලවලට පදනම වැටුණේ ඒ හේතුවෙනි.
ඒ සමගම පෙන්වා දිය යුත්තේ, වීදි කෝලාහල ඇති කිරීමට කිසිවකුටත් අයිතියක් නැතුවා සේම, දූෂිත, වංචනික අපරාධකරුවන්ට ද රටේ දේශපාලනය කිරීමට අයිතියක් නැති බවය.
(***)