ගම්පහ මහ නගර සභා සීමාවට අයත් බදුවතුගොඩ ප්‍රදේශයේ අන්නාසි වත්තකට ගලි බවුසර්වලින් මළ අපද්‍රව්‍ය බැහැර කිරීමක් සිදු කෙරෙන බවත් මේ නිසා ළිං ජලය පවා අපවිත්‍ර වන තත්ත්වයක් පවතින බැවින් මීට විසඳුමක් අවශ්‍ය බව ගම්පහ මහ නගර සභාවේ මෙවර මාසික රැස්වීමේදී එහි ස්වාධීන මන්ත්‍රී සිරිනාථ කුරුප්පු මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.
මෙහි ඍජුවම කියන කතාවක් මෙන්ම කියැවෙන කතාවක්ද තිබේ. කියන කතාව වන්නේ ගලි බවුසර්වලින් බදුවතුගොඩ ප්‍රදේශයේ අන්නාසි වත්තකට අපද්‍රව්‍ය බැහැර කරන බවය. කියැවෙන කතාව නම් අදාළ මහ නගර සභා මන්ත්‍රීවරයා තම වගකීම මැනවින් හඳුනාගෙන ඇති බවය. නගර සභාවක වගකීම වන්නේ අදාළ නගර සභා බල ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු ප්‍රශ්න සොයා බලා ඒවාට විසඳුම් දීමය. ප්‍රාදේශීය සභාවක වගකීම වන්නේ අදාළ බල ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු ප්‍රශ්න සොයා බලා ඒවා විසඳීමය.
නගරසභාවක, ප්‍රාදේශීය සභාවක වගකීම එය වුවද බොහෝ නගර සභාවලත් ප්‍රාදේශීය සභාවලත් සිදුවන්නේ එම වගකීමට පරිබාහිර දේය. ලෝක දේශපාලන තත්ත්වය ජාතික තලයේ දේශපාලනය සම්බන්ධ මෙලෝ හසරක් නැති වාද විවාද සිදුවෙයි. තම තමන්ගේ පක්ෂවල ගැටලු සම්බන්ධයෙන් මෙන්ම ජයග්‍රහණ සම්බන්ධ පාරම්බෑම්ද පරාජය සම්බන්ධ මැසිවිලිද අසන්නට ලැබේ. එකිනෙකාට බැණ අඬගසා ගැනීම් ගුටි බැට හුවමාරුවීම් දක්වා වර්ධනය වෙයි. ඒ අතරවාරයේ ජනතාවගේ ප්‍රශ්න පිදුරුතලාගල කඳු මුදුනත් පසුකර යන තරමට වර්ධනය වේ. එහෙයින් ප්‍රදේශයේ සිදුවන පරිසර විනාශයත් එමගින් ජනතාව පත්වන පීඩාවත් සම්බන්ධයෙන් අවධානය යොමු කළ ගම්පහ මහ නගර සභාවේ මන්ත්‍රීවරයාටත් ජනතාවගේ ප්‍රශ්න සංවාදයට බඳුන් කිරීමට ඉඩ හසර වෙන් කළ සියලුම සභිකයන්ටත් ප්‍රණාමය පිරිනැමිය යුතුය.
ගම්පහ නගර සභා සීමාවට අයත් බදුවතුගොඩ ප්‍රදේශයේ අන්නාසි වත්තකට ගලි බවුසර්වලින් මළ අපද්‍රව්‍ය බැහැර කිරීම කිසිසේත්ම සුළුකොට තැකිය යුතු කාරණාවක් නොවේ. මෙම ක්‍රියාදාමය වූ කලී මුළු රටම වෙළාගත් මාරාන්තික ව්‍යසනයකි. මුළු මහත් පරිසර පද්ධතියටම අණවින රැගෙන එන කොඩිවිනයකි.
ඇතැමකුට අනුව ඇළ දොළ ගංගා යනු තමන්ගේ සියලු අපද්‍රව්‍ය බැහැර කිරීමට ඇති තැනකි. ඇතැම් සුපිරි හෝටල් මෙන්ම මහා මන්දිරවල අපද්‍රව්‍ය කෙළින්ම බැහැර කෙරෙන්නේ අසළ ඇති ඇළ දොළ ගංගා වෙතය. ඇතැම් කම්හල්වල අපද්‍රව්‍ය බැහැර කෙරෙන්නේද විවෘත පරිසර පද්ධතියටය. එම අපද්‍රව්‍යවල අති විෂ රසායනික සංඝටක පසට මුසුවී උල්පත් ජලය හා එක්වේ. එවිට එම ජලය පානය කළ නොහැකිය. ජලය යනු මිනිසාගේ මූලික අවශ්‍යතාවකි. ළිං ජලය බීමට ගත නොහැකිව අසරණ වන ජනයා බීමට ජලය ඉල්ලා වීදි බැස අරගල කරති. එම අරගල අවසානයේදී ලෙයින්, කඳුළෙන් හා මරණයෙන් කෙළවර වේ. රතුපස්වල සිද්ධිය නමින් ඉතිහාසයට එක් වූ ඛේදවාචකය එයට කදිම නිදසුනකි.
බොහෝ රෝහල්වල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කාර්ය පෞද්ගලික සමාගම්වලට බාරදී ඇත. මළ සිරුරවල ඉවත් කරන අභ්‍යන්තර කොටස්, රුධිරය, පුළුන්, ගෝස්, වෙළුම්පටි ආදී එකී නොකී අපද්‍රව්‍ය බැහැර කිරීම සෞඛ්‍යාරක්ෂිතව සිදු කළ යුතුය. එහෙත් ඇතැම් සමාගම්වලට එම කාර්යයෙහි ඇති බැරෑරුම්කම සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් නොමැති බව මාධ්‍ය වාර්තා නිදසුන්ය. රෝහල් අපද්‍රව්‍ය එළිමහනට බැහැර කළ හා කුඹුරු යායන්ට බැහැර කර පලාගිය අවස්ථා සම්බන්ධ ප්‍රවෘත්ති ඉකුත් සමයේ මාධ්‍ය වාර්තා කළේය.
පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් කොතෙක් කතා කළද එය ජීවමාන යථාර්ථයක් බවට පත් කිරීමට සමත් පරිසරයක් තවමත් නිර්මාණය වී නොමැති බව සත්‍යයකි. නිවෙසෙහි අපද්‍රව්‍ය එළිමහනට, මහ පාරට බැහැර කරන හෝටල්වල අපද්‍රව්‍ය මහ පාරට බැහැර කරන අවස්ථා සමාජයේ තවමත් සුලබය. පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් උද්යෝගිමත් බවක් සමාජය තුළ වේ නම් එබඳු සිද්ධි බහුලව වාර්තා වීමට ඉඩක් නැත.
ගම්පහ මහ නගර සභාවට අයත් බදුවතුගොඩ ප්‍රදේශයේ අන්නාසි වත්තකට ගලි බවුසර් වලින් මළ අපද්‍රව්‍ය බැහැර කිරීමේ සිදුවීම එයට හිමි නිසි බරින් හඳුනාගත යුතු වන්නේ එහෙයිනි. පරිසර සංහාරකයන්ට වැට බැඳීමකින් තොරව පරිසර සංරක්ෂණය යථාර්ථයක් නොවන බව ඒකාන්ත වශයෙන්ම ඔප්පු වූ සත්‍යයකි.
(***)