ප්‍රංශයේ හපන්කම් පෑ ශ්‍රී ලාංකිකයා පසසමු


අපට බොහෝ විට අසන්නට දකින්නට ලැබෙනුයේ දුක්මුසු ප්‍රවෘත්ති වේ. මනුෂ්‍යත්වයේ අසරණකම විදහාපාන, මනුෂ්‍යත්වයට නිගාදෙන රට පිළිබඳව කම්පනයක්, වේදනාවක් ජනිත කරවීමට සමත් එබඳු ප්‍රවෘත්ති එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන පසුබිමක අසීමාන්තික ලෙස තෘප්තියට පත්විය හැකි පන්නයේ ප්‍රවෘත්තිය ද කලාතුරකින් අසන්නට දකින්ට ලැබේ. එබඳු ප්‍රීතිමත් ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

එකී ප්‍රීතිමත් ප්‍රවෘත්තිය ප්‍රංශ පුවත් සේවා උපුටා දක්වමින් වාර්තා කර තිබුණේ  “ප්‍රංශයේ හොඳම පාන් බේකරිකරු සම්මානය ශ්‍රී ලාංකිකයකුට” යන  සිරස්තලයෙනි. ගේ දොර ඉඩකඩම් උගසට තබා වැලි කතරේ ගෘහ සේවයට යන අපේම සහෝදරියන් මුදලට විකුණමින් ලොව ඉපැරණිම වෘත්තියට ලජ්ජා  විරහිත ලෙස පණපොවන අමන තැරැව්කාර ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ ප්‍රවෘත්ති අඩු නැතිව වාර්තා වන මොහොතක ප්‍රංශයේ හොඳම පාන් බේකරිකරු සම්මානය ශ්‍රී ලාංකිකයකුට හිමි වීමේ ප්‍රවෘත්තිය ඕනෑම ශ්‍රී ලාංකිකයකුගේ පෙනහලුවලට අලුත් හුස්මක්  රැගෙන ඒමට සමත්ය.

සංක්‍රමණිකයකු ලෙස ප්‍රංශයට ගොස් සිටින 37 හැවිරිදි තර්සන්  සෙල්වරාජා නමැති මෙම ශ්‍රී ලාංකිකයා හොඳම  බැගෙත් බේකරි නිෂ්පාදනකරුවා ලෙස සම්මානයට පාත්‍ර වී ඇත. බැගෙත් යනු ප්‍රංශයේ ජනප්‍රිය මෙන්ම සාම්ප්‍රදායික පාන් වර්ගයකි. තුනී පිටි ගුලියකින් එය නිපදවනු ලබයි. බැගෙත් පාන් දිගැටි හැඩයකින් යුක්තය.

ප්‍රංශයේ 30 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ  ගොන් ප්‍රි දෙ ල බැගෙත් දෙ ත්‍රොදිෂනල් ෆ්‍රොන්සේ දෙ ලා විල්ද පරි තරගයෙන් තර්සාන් සෙල්වරාජා එම සම්මානය හිමිකර ගත් බව  ප්‍රංශ පුවත් සේවය මුළු ලෝකයටම අනාවරණය කළේය. පහළොස් දෙනකුගෙන් යුත් ජූරි සභාවක් ඉදිරියේ මෙම තරගය පවත්වා තිබේ. මෙම ජයග්‍රහණයත් සමග සෙල්වරාජා යුරෝ 4000ක මුදලක් සමග පුරා වසරක් ප්‍රංශ ජනාධිපතිවරයාට  බැගෙත් පාන් සැපයීමේ කොන්ත්‍රාත්තුව හිමිවනු ඇති බවද ප්‍රංශ පුවත් සේවය  වාර්තා කර සිටී.

‘නෑ සහ බෑ’ කීම ජාතික සිරිතක්ව ප්‍රගුණ කරන්නක් තරමට අපගේ ජන ජීවිතය හා තදින් ගැට ගැසී තිබේ. අනුන් මත යැපෙන මානසිකත්වය හෙවත් පරපුටු මානසිකත්වය අපගේ සියලු හැකියා සම්පත්ති සැහැසි ලෙස උදුරාගෙන තිබේ.

තර්සාන් සෙල්වරාජාගේ ජයග්‍රහණය අපට මහමෙරක් තරම් බරින් හා උසින් දැනිය යුත්තේ එහෙයිනි. නොරටකට ගොස් එම පරිසරයට හුරු වී කුමක් හෝ රැකියාවක් කර කීයක් හෝ උපයාගෙන පැත්තකට වී සිටීමට සෙල්වරාජ්ට ද ඕනෑ තරම්  හැකියාව තිබිණි. එහෙත් තමන් උපන් රටෙන් ලද  ආභාසයෙන් නන්නාඳුනන දුරු රටක වුවද හපන්කම්   පෑමේ උත්සාහවන්ත මනසක් ඔහුට තිබිණි. සෙල්වරාජා සම්බන්ධයෙන් අපට ආඩම්බර විය හැක්කේද එහෙයිනි.

අපගේ සාම්ප්‍රදායික කර්මාන්තයක්  බවට බේකරි කර්මාන්තය පත්ව තිබේ. දුරාතීතයේ සෑම ගමකම එක බේකරියක්  හෝ අවම වශයෙන් තිබිණි.  එම බේකරි කර්මාන්තය අපගේ සාම්ප්‍රදායික  ආහාර රටාව සමග මුසුවී තිබේ. අපට කුමක් නැත ද අපගේ ආහාර සංස්කෘතියෙන් ලොව දිනිය හැකි බව ඒකාන්ත සත්‍යයකි. සෙල්වරාජ්ට ප්‍රංශයේ  ආහාර අධිරාජ්‍යයට කඩා වැදී හපන්කම් පෑමට හැකියාවක් ලැබුණේද එහෙයිනි.

රටක් වශයෙන් අප බොහෝ දේ අතහැර  පැමිණ තිබේ. සෙස්සන් ඉදිරිපිට ඉමහත් අභිමානයෙන් නැගී සිටීමට හැකි බොහෝ වාසනා ගුණ මහිමයන් අප සතු  වුවද ‘අලියාගේ තරම අලියා නොදන්නා’ යැයි කීවා සේ අපගේ හැකියාවන් අපි නොදැන සිටිමු. එහෙයින් ඒවා වැඩකට නොගෙන ඔහේ දිරාපත්වීමට ඉඩ හැර දී බලා සිටිමු.

ලොව ඕනෑම රටක් සමග තරග කර ජයග්‍රහණය ලැබිය හැකි බව වරින්වර අප පෙන්වා ඇත. ක්‍රීඩා ක්ෂේත්‍රය ඉන් ප්‍රධාන ය. සිනමා කර්මාන්තය ද අද එතැනට පැමිණ තිබේ. දැන උගත්කම මගින්ද අපි බොහෝ සාඩම්බර තැනක පසුවෙන්නෙමු. එහෙත් බොහෝ තැන්වලින්  අප පෙන්නුම් කරමින් සිටින්නේ පසුගාමී ලක්ෂණ මිස ජයග්‍රාහී ලක්ෂණ නොවේ. ඉරණම අපගේ උරුමය ලෙස බාර ගැනීමට සිදුව තිබෙන්නේ එහෙයිනි.

අප රට එබඳු රටක් නොවන බව සෙල්වරාජා ඔප්පු කර තිබේ.  නොරටක සිටියද දිනූ බිමට ජයග්‍රහණ ගෙන ඒමට ඔහු  නොමැලිව ඉදිරිපත් වී සිටී. එය අගනා පාඩමක් ලෙස සෑම ශ්‍රී ලාංකිකයකුම ග්‍රහණය කරගත යුතුය.

(***)