2024 ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව එන මස නැතහොත් අගෝස්තු මස 15 වැනි දින නාම යෝජනා කැඳවීමට ද සැප්තැම්බර් 21 වැනිදා ඡන්ද විමසීමට ද දින නියම කර තිබේ.
මැතිවරණයක් යනු ප්‍රචණ්ඩත්වයේ නිවුන් සොහොයුරා යැයි හඳුනාගත හැකි තරමට සමීප බවක් දක්නට ලැබේ. පූර්ව මැතිවරණ අවදියේ දී මෙන්ම මැතිවරණ දිනයදාද පශ්චාත් මැතිවරණ කාල සීමාවේදී ද මෙම ප්‍රචණ්ඩ ක්‍රියා වෙනසකින් තොරව සිදු කෙරේ. එහෙයින් මහජන මතය නිවැරැදිව ප්‍රකාශයට පත් කෙරෙන සාමකාමී නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් කැපවීම සෑම දේශපාලන පක්ෂයකම සහ ඒ ඒ දේශපාලන පක්ෂවල කේඩරයන්හි පළමු වගකීම සහ යුතුකම විය යුතුය.
මැතිවරණයක් යනු ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රමාණය කිරා මැන බැලෙන කැඩපතකි. මන්දයත් එමගින් සිදුවන්නේ මහජන මතය උරගා බැලීම වන හෙයිනි. ප්‍රජාතන්ත්‍රවාදය යනු රටේ බහුතර මතයට හිස නැමීමය. එම බහුතර මතය නිවැරැදිව ප්‍රකාශයට පත් කළ හැකි නිර්බාධක පරිසරයක් තිබිය යුතුය. එයට අවශ්‍ය විධි විධාන නීති පොතෙහි නිවැරැදිව දක්වා තිබේ. අවශ්‍ය වන්නේ එම නීති වගන්ති ප්‍රකාරව කටයුතු කිරීමේ ශික්ෂණය වූ නීතිගරුක මනසක් නිර්මාණය කර ගැනීමය.
තමාගේ මතය සම්පූර්ණ, පාරිශුද්ධය, සර්පයෙක් බදු යැයි සිතා එම මතය ජයග්‍රහණය කරවීම ඒකාන්ත අරමුණ කරගත් පිරිස් සිටිති. එම අරමුණට අනුව පළමුව කළ යුතු වන්නේ අනෙකාගේ මතය ප්‍රකාශ කිරීමට ඇති අවස්ථා අහුරාලීමය. බාහු බලය, මැර බලය, ආයුධ බලය යොදවනු ලබන්නේ එහෙයිනි. මැතිවරණ සමය ලෙයින් කඳුළෙන් හා මරණයෙන් කිළිටි වී යන්නේ එහෙයිනි. මෙම පැරැණි පන්නයේ අවි නූතනයට නොගැළපෙන බව වටහා ගැනීමට සමත් මනසක් නිර්මාණය කර ගැනීම වැදගත්ය.
අප මේ නිදහස ලබා හැත්තෑ හය වසරකි. මෙම කාලය පුරාම විවිධ පන්නයේ මැතිවරණ අත්දැකීම් මෙරට ජනයා ලබා සිටිති. එම අත්දැකීම්වලින් ලත් ඥානයෙන් මෙරට ජනයා පොහොසත්ය. එම ඥානයට අනුව කටයුතු කිරීමට එම ජනයාට අවස්ථාව දිය යුතුය.
නිදහස ලැබ ගෙවා ආ මුල් කාලය පුරාම මෙරට ජනාධිපතිවරුන් හා ආණ්ඩු පිහිටුවා තිබෙන්නේ මහජනතාවය. සන්නද්ධ අරගල හරහා හා කුමන්ත්‍රණවලින් ආණ්ඩු පිහිටුවීමට ගත් සෑම උත්සාහයක්ම ලත් තැනම ලොප් වී තිබේ. එම සෑම තැනකදීම ඔප්පු කර පෙන්වා ඇත්තේ මහජන බලය සියල්ලටම වඩා බලවත් බවය. මැතිවරණ කාල සීමාවල දී ඒ බව තරයේ සිතට ගෙන ක්‍රියා කිරීම වඩාත් වැදගත්ය.
මෙරට නීති පද්ධතියේ ‘‘මැතිවරණ නීති’’ යනුවෙන් විශේෂ නීති වර්ගයක් තිබේ. එම මැතිවරණ නීති පනවා තිබෙන්නේ නිදහස්, සාමකාමී හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙනි. අය ශිෂ්ට මිනිසුන් නම් එම මැතිවරණ නීති තිතට නූලට පිළිපැදිය යුතුය. එම නීති පද්ධතියට සිතින් කයින් හා වචනයෙන් අනුගත විය යුතුය. එය එසේ නොවන්නේ නම් එමගින් අශිෂ්ටත්වය ප්‍රදර්ශනය වීම හැර අන් දෙයක් සිදු නොවේ. ඒ අනුව මැතිවරණයක් යනු දේශපාලනඥයන්ගේ හා ඔහුගේ අනුගාමිකයන්ගේ ශිෂ්ට – අශිෂ්ටත්වය ප්‍රදර්ශනයට තැබෙන අවස්ථාවක්.
‘‘ඔබගේ මතයට මා එකඟ නොවුව ද එය ප්‍රකාශ කිරීමට ඔබට ඇති අයිතියට මම ගරු කරමි’’ යන්න ශිෂ්ට මිනිසාගේ පිළිවෙතය. මෙතැන් සිට දිග හැරෙන කාල සීමාව යනු එම ශිෂ්ටත්වය එයට හිමි නිසි අරුතෙන් නිසි ගුණයෙන් බලමුළු ගැන්විය යුතු කාල සීමාව වේ. සැබැවින්ම අප මේ ජීවත් වන්නේ 21 වැනි සියවසේ බව සිහි තබා ගැනීම ඕනෑම ප්‍රශ්නයකට නොවරදින, ප්‍රත්‍යක්ෂ ඖෂධය වේ.
(***)