පොසොන් පුර පසළොස්වක පොහොය දිනයට පසුදින වුවද අපට ලිවීමට සිදුවී තිබෙන්නේ සිත් නිවී සැනසීම් බවට පත් කරන කරුණක් නොව සිත් කීරිගස්වන්නට හේතුවන භීතිය අවුළුවාලන ප්‍රවෘත්තියක් සම්බන්ධ කාරණාවක්ය. මෙම කාරණාව අප පුවත්පත ඊයේ දිනයේ වාර්තා කළ ප්‍රධාන ප්‍රවෘත්තියෙනි.
අප පුවත්පත ඊයේ වාර්තා කළ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කියැවුණේ නිසි පරීක්ෂාවකින් තොරව වෙළෙඳපොළට නිකුත් කරනු ලැබූ නිර්වින්දන සහ මොළය ආශ්රිත රෝග සඳහා භාවිතයට ගනු ලබන එන්නත් වර්ග 8ක් තවමත් නිෂ්පාදනය කරන බවත් එම එන්නත් වෙළෙඳපොළේ ඇති බවත් අභියාචනාධිකරණයේ දී අනාවරණය වූ බවය.
රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පරමාධිපත්‍යයේ බලය පිරිනමා ඇත්තේ මහ ජනතාවටය. එම මහ ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය තිබිය යුතුය. ඉපැදෙන ඕනෑම සත්වයකුට මිය යනතුරු ජීවත්වීමේ අයිතිය තිබේ. එහෙත් ඉහත ප්‍රවෘත්තියෙන් පැහැදිලි වන්නේ එම අයිතිය ඉතා සැහැසි ලෙසත් අධම හා නරුම ලෙසත් පැහැරගෙන ඇති බවය.
‘‘ආරෝග්‍යා පරමාලාභා’’ යන්න අප සමාජයට ඉතා හුරු පුරුදු එමෙන්ම සාධුකාර දී හිස් මුදුනෙන් පිළිගන්නා බුදු වදනකි. පරම ලාභය නීරෝග බව යන්න පැහැදිලි කිරීමට අටුවා ටීකා ටිප්පනි වුවමනා නොවේ. මිනිසාට ලෙඩ රෝග වැළඳේ. ඒවා වළක්වා ගැනීමේ පහසු ක්‍රමවේද ද නැත. එහෙත් විද්‍යාව, තාක්ෂණය දියුණු වී ඇති ලෝකයක ලෙඩ රෝගවලට බිය විය යුතු නැතැයි යන්න ද පිළිගත හැකි කාරණාවකි. ලොව ඖෂධයක් නැතැයි කීව ද මේ වන විට එ්ඩ්ස් රෝගයට ද ඖෂධ නිපදවීමට තරමට බටහිර රටවල් දියුණු වී තිබේ. එම මානසික සහනය, නිස්කාංසුව මෙරට පුරවැසියාට ද හිමි විය යුතුය. එහෙත් එම මානසික සහනය ජාවාරම්කාර චෞර කප්පිත්තන් අප පුරවැසියාගෙන් උදුරාගෙන ඇති බව අපගේ මේ කාරණයට හේතු වී ඇත.
අප පුරවැසියාට ඖෂධ සම්බන්ධයෙන් දියුණු අවබෝධයක් නැත. වෛද්‍යවරයා ලියාදෙන බෙහෙත් වට්ටෝරුව, රෝහලෙන් හෝ ෆාමසියකින් ගෙන ලියා දක්වා ඇති ආකාරයට ගැනීම සාමාන්‍ය ජනයාගේ සිරිතය. එසේ නොමැතිව ඖෂධයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් කිරා මැන පරීක්ෂා කිරීමේ හැකියාවක් සාමාන්‍ය ජනයාට නැත. එසේ තිබියදී නිසි පරීක්ෂාවකින් තොරව නිකුත් කරනු ලැබූ නිර්වින්දන සහ මොළය ආශ්රිත රෝග සඳහා භාවිතයට ගනු ලබන එන්නත් වර්ග 8ක් තවමත් නිෂ්පාදනය කරන බවත් එම එන්නත් වෙළෙඳපොළේ ඇති බවත් දැක්වෙන ප්‍රවෘත්තිය දකින කියවන අසන ජනී ජනයාට මරණ බිය දැනීම සාධාරණය.
මෙවන් අනතුරු හා ඛේදවාචක පිරීගත් බිමක ජීවත්වීමට මෙරට ජනයා කිනම් කලෙක කළ කුමන පාප කර්මයක්දැයි පැහැදිලි නැත. අප රට හැඳින්වුණේ ‘පතිරූප දේශයක්’ ලෙසය. එනම් ජීවත්වීමට ඉතා සුදුසු රටක් ලෙසය. ඉක්මයන මේ පැය තුළ වුවත් මෙරට ජනයා එය තමන්ගේ හදවතේ ගැඹුරුම තැනින් විශ්වාස කරති. එහෙත් නිසි පරීක්ෂාවකින් තොරව වෙළෙඳපොළට නිකුත් කරනු ලැබූ නිර්වින්දය සහ මොළය ආශ්රිත රෝග සඳහා භාවිතයට ගනු ලබන එන්නත් වර්ග 8ක් තවමත් නිෂ්පාදනය කරන බවත් එම එන්නත් වෙළෙඳපොළේ ඇති බවත් දැක්වෙන ප්‍රවෘත්තිය හරහා එම ජනයාට දැනෙන හැඟීම හා දැනිය යුතු හැඟීම කුමක්ද යන්න වටහා ගැනීම අසීරු නැත.
මෙය වූකලී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සමූහ ජන සංහාරයකට කල් මැරීමකි. මෙම ජාවාරම්කාර චෞර කප්පිත්තන්ට කිසිදු බුරුලක් නොදී ඉහළම දඬුවම් නියම කළ යුතුය. මෙයට පෙර ද දක්වා ඇති පරිදි අපගේ නිර්දේශය නම් රජකාලේ දඬුවම් දිය යුතු බවය. අප එසේ කියන්නේ නොමළවුන් නිදිගත් බිමක මළවුන් උදෙසා යුක්තිය ඉටු නොවන හෙයිනි.
(***)