ප්‍රමිතියෙන් තොර ගොඩනැගිලි හැදූ සහ හදන අයට දඬුවම් නැද්ද?


මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි පස් මහල් හෝටල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ඊට පහළින් තිබූ හෝටල් ගොඩනැගිල්ලක සිටි තරුණ අඹු සැමි යුවළක් සහ ඔවුන්ගේ මාස එකහමාරක් වයසැති බිලිඳිය මිය යාමේ සංවේග ජනක ප්‍රවෘත්තිය අප පුවත්පත පෙරේදා වාර්තා කළේය. අනපේක්ෂික අනතුරෙන් පණ පිටින් වැළලුණ මව – පියා සහ මාස එකහමාරක් වයසැති බිලිඳිය නමින් කම්පිත මිනිස් හදවත් සමග ‘‘ලංකාදීප’’‌යද සාතිශය සංවේගයෙන් යුතුව එක්වෙයි.

මියගිය සදාදරණීය මිනිසුන් වෙනුවෙන් අහසට නැගුණු සුදු කොඩිවැල් තව දින කිහිපයකින් දිරාපත්වී යනු ඇත. නාඳුනන නමුත් මියගිය මව පියා හා බිලිඳිය වෙනුවෙන් මුමුණන අනුරාගී මිනිස් කතාබහ තව ටික දිනකින් නතරවනු ඇත. ඒ මිනිසුන් වෙනුවෙන් නැගුණු කඳුළැලි වියැකී යනු ඇත. ඉන්පසුව සිරිත් පරිදි දවස් ගෙවා දැමීම ඇරැඹෙනු ඇත. ඒ යළිත් මෙවන් අවාසනාවන්ත අකල් මරණ, ඛේදවාචකයක් අබියස සංවේදී වීම පිණිසය. විය යුත්තේ එය නොවන බව ඒකාන්ත සත්‍යයකි. අවශ්‍ය වන්නේ මෙවන් විපත් වළක්වාලීමට සමත් දියුණු පරිසරයක් වෙනුවෙන් කැපවීමය. නොමළවුන් නිදිගත් බිමක මළවුන් උදෙසා යුක්තිය ඉටු නොවන බව පරම සත්‍යය වේ.

ගොඩනැගිල්ලක් නිවෙසක් එක්වරම කඩා වැටීමට හේතුවක් නැත. නියමිත ක්‍රමවේදවලට හා ප්‍රමිතියට අනුව ගොඩනැගිල්ලක් ඉදිකර තිබේ නම් එය කඩා ඉවත් කරනතුරුම නිරුපද්‍රිතය. එය එසේනම් පස් මහල් හෝටල් ගොඩනැගිල්ල කඩා වැටුණේ කෙසේද? මේ සම්බන්ධයෙන් පුළුල් විධිමත් පරීක්‍ෂණයක් සිදු කළ යුතුය. දැන් එය සිදුවෙමින් පවතින බව වාර්තා වෙයි. අහිංසක පවුලක්ම පණපිටින් වැළලී ගොස් තිබේ. ඒ මිනිසුන්ට යළිත් පණ දිය නොහැක. අපරීක්‍ෂාකාරී ලෙස ගොඩනැගිලි ඉදිකර මිනිසුන් මරා දැමීමට කිසිවකුට ඉඩ දිය යුතු නැත.

පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටුණේ එහි ඉදිකිරීම්වල ඇති දුර්වලතා හේතුවෙන් යැයි ජාතික ගොඩනැගිලි පර් යේෂණ සංවිධානය, මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයට දැනුම් දී ඇතැයි අප පුවත්පත වාර්තා කළේය. එහි ඉදිකිරීම් නිසි ගවේෂණයකින් තොරව සිදුකර ඇති බව ද සඳහන්ය.

අප පුවත්පත මහනුවර පොලීසියේ උසස් නිලධාරියකු උපුටා දක්වමින් පළ කළ වාර්තාවක සඳහන් වූයේ මෙම ගොඩනැගිල්ල ජාතික ගොඩනැගිලි පර් යේෂණ ආයතනයේ අනුමැතිය යටතේ නිසි ප්‍රමිතියකට අනුව ඉදිකර ඇති ද භූ විද්‍යා පතල් කාර්යාංශය මෙම භූමිය පරීක්‍ෂා කර එම ස්ථානයේ තට්ටු පහක ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අවසර දුන්නේ ද නගර සභාවෙන් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා පනවා තිබූ කොන්දේසි මොනවා ද මෙම භූමිය පරීක්‍ෂා කර තට්ටු කීයක් එම භූමියේ ඉදිකිරීමට අවසර දුන්නේ ද යන්න සොයා බලා වාර්තා කැඳවා ඇති බවය.

කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරුවන් පවසන්නේ මෙම ගොඩනැගිල්ල නිසි අවසරයකින්, නිසි ක්‍රමවේදයකට, නිසි ප්‍රමිතියකට යටත්ව ඉදිකළ බවය. ප්‍රශ්නය වන්නේ එසේ නම් මෙම ගොඩනැගිල්ල කඩා වැටුණේ කෙසේද යන්නය. අනවසර ඉදිකිරීම් මෙන්ම අනුමත කරගත් සැලැස්මට එපිටින් ගොස් ඉදිකිරීම් සිදු කිරීම ජාතික ව්‍යසනයක් බවට පත්ව තිබේ. ඇතැම් නිලධාරීන් නිසි විමර්ශනයකින් තොරව ඉදිකිරීම් සඳහා අවසර ලබාදෙන බව ද රහසක් නොවේ. මේ සියල්ල සඳහා අතයට මුදල් හුවමාරු වන බව ද රහසක් නොවේ. මුදල්වලින් සියල්ල කළ හැකි බවට විශ්වාසයක් ඇති නිසා ඇතැමෙක් බියකින් තොරව එබඳු අනීතික ක්‍රියාවලට යොමු වෙති. එහෙත් ඒවා කෙළවර වන්නේ වටිනා මිනිස් ජීවිත අහිමි කරමින් මහා ඛේදවාචක නිර්මාණය කරමින්ය.

මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස් මහල් හෝටල් ගොඩනැගිල්ල කඩා වැටීමේ ඛේදවාචකය එයට හිමි ගැඹුරින්ම වටහා ගත යුතු වන්නේ ඉහත පරිසරයට යටත්වය. සල්ලිකාරයන් හා දූෂිත නිලධාරීන් එක්ව සිදුකරන සමූහ මිනිස් ඝාතන නතර කර දැමීය යුතුය. පස් මහල් ගොඩනැගිල්ලට අදාළ සැලසුම් සම්මත කිරීමේ දී ස්ථානීය පරීක්‍ෂාවක් සිදුකර එම ස්ථානයට ගැළපෙන පරිදි ගොඩනැගිල්ල ඉදිකිරීමට උපදෙස් දුන්නේ ද යන්න සොයා බැලිය යුතුය. එසේ උපදෙස් දී තිබිය දී එම උපදෙස් නොතකා කටයුතු කර තිබේ ද යන්න සොයා බැලීය යුතුය. අනීතික යමක් කිනම් පාර්ශ්වයකින් හෝ සිදුවී තිබේ නම් තරාතිරම නොබලා දඬුවම් කළ යුතුය. මුදල් බලයෙන් සියල්ල කළ හැකි යැයි හෝ සියල්ල යටපත් කළ හැකි යැයි යමකු සිතන්නේ නම් එය ඓතිහාසික මුළාවක් බව ඔප්පු කර පෙන්වීමට සුදුසුම පැය එළැඹ තිබේ.

අප කියන කාරණා මහනුවර බූවැලිකඩට පමණක් සීමා නොවේ. ශ්‍රී ලංකාවේ ගම්වල, විශේෂයෙන්ම ප්‍රධාන නගරවල අනවසර එමෙන්ම ප්‍රමිතියෙන් තොර ඉදිවූ ගොඩනැගිලි ඕනෑතරම් ඇත. හරිහැටි ගවේෂණයක් කළහොත් එවැනි ඉදිකිරීම් දහස් ගණනක් සොයාගත හැකිවනු ඇත. එබැවින් දැන් ආණ්ඩුවත් මහ නගර සභාත්, පළාත් පාලන ආයතනත් නාගරික සංවර්ධන අධිකාරියත් ඒ පිළිබඳව සොයා බැලිය යුතු බව අපේ අදහසය. ඡන්දය හා දේශපාලන වාසි වෙනුවෙන් අසරණ මිනිස් ජීවිත සමග සෙල්ලම් නොකරන ලෙස දේශපාලකයන්ගෙන්ද අපි ඉල්ලා සිටිමු.

(***)