පාඩු ලබන ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රති සැකසුම්කරණය කළ යුතු බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි. එවැනි ආයතනවල අතිරික්ත සේවකයන් සිටී නම් වන්දි මුදල් ගෙවා ඔවුන් ඉවත් කිරීමට සිදුවනු ඇති බවත් රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සේවකයන් ඉවත් කිරීම සම්බන්ධව පවතින වන්දි සූත්‍රය එහිදී සැලකිල්ලට ගත හැකි බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය. එසේම එම ආයතනවල පවතින බැහැර කළ හැකි වත්කම් උපයෝගී කර ගනිමින් අතිරික්ත සේවක පිරිස් සඳහා ස්වයං විශ්‍රාම යාමේ ක්‍රමයක් ක්‍රියාත්මක කළ හැකි නම් එම ආයතන කඩා නොවැටී පවත්වාගෙන යා හැකි බවට අමාත්‍යවරයා විශ්වාසය පළකර තිබිණි.
අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළද පාඩු ලබන රාජ්‍ය ආයතන එවැනි ක්‍රමවලින් ගොඩගත නොහැකි බව පරම සත්‍යයයි. එය ඉතිහාසය විසින් ඔප්පු කර තිබේ. අතිවිශාල පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කර ඒවායේ පාලන ක්‍රමය වෙනස් කරන තුරු පාඩු ලැබීම් වළක්වා ගැනීමට හැකියාවක් නැත. එවැනි ඍජු පියවරක් නොගෙන එවැනි ආයතන කඩා නොවැටී පවත්වාගෙන යාමට කොතරම් උත්සාහ දැරුවත් මේ රටේ පවතින දේශපාලන සංස්කෘතියට අනුව එම අරමුණ ඉටු නොවේ. ආයතනය අතට ලැබෙන අමාත්‍යවරයාට එය තමන්ගේ හෙංචයියන්ට රස්සා ලබාදීමටත් ටෙන්ඩර් මගඩි හරහා සාක්කු තරකර ගැනීමටත් ලැබෙන අවස්ථා ඔවුන් පැහැර නොහරින බැවිනි.
පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම අත්‍යාවශ්‍ය කටයුත්තක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද පසුගියදා ‘දි ඉකොනොමිස්ට්’ සඟරාව සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබිණි. දැනට හඳුනාගෙන ඇති එවැනි ආයතන ගණනාවක් එහිදී ජනාධිපතිවරයා විසින් නම් කරනු ලැබීය. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී වෘත්තීය සමිති දක්වන විරෝධය ගැන තමා කරදර නොවන බවත් තමාට වැදගත් වන්නේ ජනතාව බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබිණි.
ප්‍රති සැකසුම්කරණය කිව්වත් ප්‍රතිව්‍යුහගත කිරීම කිව්වත්, පෞද්ගලීකරණය කිරීම කිව්වත් අදහස් වන්නේ එකම කතාවකි. එහෙත් මේ වචන තුන අතරින් ජනතාව තිගැස්සෙන්නේත් වඩාත් සංවේදී වන්නේත් පෞද්ගලීකරණය යන යෙදුමටය. එය මහා භයානක පියවරක් වන බවට වන විශාල දුර්මතයක් සමාජය තුළ පුළුල්ව පැතිර තිබීම ඊට හේතුවය. මෙවැනි දුර්මත ජනගත කිරීම ඇතැම් වෘත්තීය සමිතිවල ප්‍රමුඛ කාර්යය වී තිබෙන බව මෙහිදී කනගාටුවෙන් වුවද පෙන්වා දිය යුතුය. තමන් භුක්ති විඳින වරප්‍රසාද සහ වරදාන ගිලිහී යාම වළක්වා ගැනීම එවැනි අවස්ථාවාදී සමිතිවල මූලික පරමාර්ථය වුවද ඔවුන් එය ජනගත කරන්නේ ජාතික සම්පත් විකිණීමට එරෙහි වෙමු යන පට්ට ගැසූ මෙලෝ රහක් නැති ලේබලය යටතේය. මේවාට තිරය පිටුපස සිටිමින් උඩගෙඩි දෙන දේශපාලන නායකයෝ රටේ යහපතට වඩා තමන්ගේ පක්ෂයට බලය ගැනීම සහ තිබෙන බලය පවත්වාගෙන යාමේ ඇස්බැන්දුමක් වශයෙන් මේ සටන්පාඨය යොදා ගනිති. එම ආයතන පාඩුවට ගෙනයාම හරහා පසුගිය දීර්ඝ කාලය තුළදී රටේ මුදල් බිලියන ගණනින් කාබාසිනියා කිරීම ගැන ඔවුන් කතා කරන්නේ නැත. අඩුම තරමින් දැන්වත් රට වැටී සිටින ආර්ථික අගාධය පිළිබඳ කල්පනා කර හෝ ජනතාව තවදුරටත් රැවටීමේ ක්‍රියාවලින් මේ නායකයන් බැහැර විය යුතුය.
පාඩු ලබමින් පවත්වාගෙන යන රාජ්‍ය ආයතනවල බර තවදුරටත් මේ රටේ ආර්ථිකයට දරාගත නොහැක. මේ සත්‍යය දැන දැනම රාජ්‍ය සම්පත් කොල්ලකෑම වැනි සටන්පාඨ හරහා සමාජය තුළ දුර්දාන්ත මත පැතිරවීමට කිසියම් වෘත්තීය සමිතියක් ක්‍රියා කරන්නේ නම් ඔවුන් රට මකර කටට තල්ලුකරන අපාය සහායක සමිතියක් මිස රටේ දියුණුව පරමාදර්ශය වශයෙන් සලකා කටයුතු කරන ප්‍රගතියේ සහකරුවකු නොවන බව පිළිගැනීමට සිදුවෙයි. තම ආයතනයේ සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම වැරදි යැයි අප කියන්නේ නැත. එහෙත් රටේ ආර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දුවලට හරස් කැපීම සඳහා වෘත්තීය සමිති අයිතිවාසිකම් යොදා ගැනීම අපට අනුමත කළ නොහැක.
රටක සියලු ව්‍යවසාය රජය මගින් පමණක් පාලනය විය යුතු බවට ඇති මතය යල් පැන ගිය මිථ්‍යාවක් බව සියලුදෙනා තේරුම් ගත යුතුය. එවැනි ආර්ථික ක්‍රම සහ මතවාද ලොවට හඳුන්වා දුන් බලවත් වාමාංශික රටවල් පවා එම මතවාද අතහැර වඩාත් තරගකාරී, ධනාත්මක සහ නවීන තාක්ෂණය සමඟ අත්වැල් බැඳගත් ආර්ථික ක්‍රමවලට හැරෙමින් විශාල දියුණුවක් ලබා සිටී. අපේ රටේ පමණක් එවැනි කාලය ඉකුත් වූ අසාර්ථක ආර්ථික න්‍යායයන් බදාගෙන සිටින පිරිසක් රටේ අනාගතය ආපස්සට හැරවීමට කටයුතු කිරීම කනගාටුවකි.
කිසිම දවසක ගුවන් යානයක ගමන් කර නැති මේ රටේ ජනතාව පවා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව පියවීම සඳහා 2008 සිට 2020 දක්වා ගෙවා ඇති බදු මුදල රුපියල් බිලියන 302කි. එසේම 2020 වනවිට පාඩු ලබන රාජ්‍ය ආයතන විසින් විනාශ කර ඇති මුදල සමස්ත ආර්ථිකයෙන් සියයට09ක් බවද ආර්ථික විශේෂඥයන්ගේ මතයයි. ජාතික සම්පත් කඩතුරාව ලිහා දමා පෞද්ගලීකරණය හරහා රටේ සම්පත් රැකගැනීමේ වැඩපිළිවෙළ තවදුරටත් ප්‍රමාද කළ යුතු නැත.
(***)