පාර්ලිමේන්තුවේ පැය එකහමාරක හදිසි රැස්වීමක් පැවැත්වීම සඳහා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය වී ඇතැයි පසුගියදා වාර්තා වූයේය. පසුගිය 02 වැනිදා මෙම හදිසි රැස්වීම පවත්වා තිබුණේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට විශේෂ ප්‍රකාශයක් කිරීම සඳහා ය. මාධ්‍ය වාර්තාවලට අනුව ජනාධිපතිවරයාගේ කතාවෙන් පසුව විපක්ෂ නායකවරයාද ප්‍රකාශයක් කළ අතර එයින් පසුව පාර්ලිමේන්තුව කල් තබනු ලැබූ බව වාර්තා විය.
පාර්ලිමේන්තුව පැය එකහමාරක් වැනි සුළු කාලසීමාවකට ක්‍රියාත්මකව පැවතීම සඳහා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය වන බව එකවරම කෙනකු විශ්වාස නොකරනු ඇත. එහෙත් පැය එකහමාරක් වැනි කෙටි කාලසීමාවකට වුවද පාර්ලිමේන්තුව විවෘත කර තැබීමේදීත් සම්පූර්ණ දිනයක් සඳහා වැය වන මුදල හා සමාන මුදලක් වැය කිරීමට සිදුවීම යථාර්ථයයි.
ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සියලු අවශ්‍යතා සම්පූර්ණ කරදීම කතානායක, පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු පාර්ලිමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලයේ වගකීමයි. එහෙත් ඒ සමග පාර්ලිමේන්තුව විවෘතව තැබීමේ කාලසීමාවෙන් උපරිමව ප්‍රයෝජන ගැනීමද සිදුවිය යුතුය. හදිසියේ සිදුකරන කතාවක් පමණක් සඳහා පාර්ලිමේන්තුව මෙසේ විවෘත කිරීමෙන් මහජනතාවට සිදුවන සෙතක් නැත. අඩුම තරමින් එම කතාව සම්බන්ධයෙන් විවාදයක් හෝ පැවැත්වීමට කටයුතු යොදා තිබුණා නම් එම කාලය ඵලදායි ලෙස භාවිත කළ හැකිව තිබිණි. එවැනි විවාදයක් පැවැත්වීමට නියමිත බව මුලදී ප්‍රකාශ වී තිබුණද එය පැවැත්වුණේ නැත. එසේ නම් ඊළඟ පාර්ලිමේන්තු දිනයේදී මේ හදිසි රැස්වීම යොදාගත හැකිව තිබූ බව අපගේ විශ්වාසයයි. එය කාලයද උපරිම ලෙස යොදාගැනීමක් මෙන්ම මහජනතාවගේ බදු මුදල් අපතේ යාම වැළැක්වීමක් වනු ඇත.
පාර්ලිමේන්තුව පැවැත්වීමේදී දිනකට වැය වන මුදල පසුගිය කාලය තුළදී වරින් වර විවාදසම්පන්න මාතෘකාවක් බවට පත්විය. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගිය වසරේ දෙසැම්බර් 10 වැනිදා විපක්ෂයට එරෙහිව චෝදනාවක් නගමින් ප්‍රකාශ කර සිටියේ එදින වැට් (සංශෝධිත) පනත පිළිබඳ විවාදය සමගි ජනබලවේගය විසින් කඩාකප්පල් කර දැමීම නිසා රුපියල් කෝටියක මුදලක් අපතේ ගිය බවය. පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කළ ප්‍රකාශයක සඳහන්ව තිබුණේ දිනකට පාර්ලිමේන්ව පැවැත්වීම සඳහා රුපියල් කෝටි එකහමාරක මුදලක් වැය වන බවකි. එම ප්‍රකාශ තහවුරු කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් හෝ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය මගින් සිදුනොවූ අතර එසේ දිනක වියදම ගණනය කිරීම අපහසු බව ඔවුන් පෙන්වාදී තිබිණි.
මේ ගණන් හිලව් කෙසේ වෙතත් මහජනයා විසින් මහජනයා වෙනුවෙන්ම පවත්වා ගත යුතු පාර්ලිමේන්තුවේ කාලය සහ ඒ සඳහා වැය වන මුදල අපතේ නොයවා නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීම වගකිව යුතු සියලු දෙනාගේම කාර්ය භාරය වෙයි. මේ රටේ ජනතාව සිටින්නේ ‘‘ මල් පිබිදෙන එක් වසන්ත සමයක’’ නොවන බව සියලු බලධාරීන් සිතට ගත යුතුය. දැඩි ලෙස ජීවන බරින් මිරිකී සිටින ජනතාවට පාර්ලිමේන්තුවේ කාලය නිසි ලෙස ප්‍රයෝජනයට නොගන්නා බව දකින විට සිදුවන්නේ ඔවුන්ගේ කලකිරීම තවදුරටත් උග්‍රවීම පමණි. මේ කලකිරීම දෝරේ ගලා ගොස් අරගලයක ස්වරූපයෙන් පුපුරා ගිය අවස්ථාවේ සියලු දෙනාගේ දැඩි විවේචනයට හසුවූ එක් මර්මස්ථානයක් වූයේ පාර්ලිමේන්තුව බවද මෙහිදී සිහිපත් කළ යුතුය. 225ම තමන්ට එපා වී ඇති බවට ජනතාව හඬ නැගුවේ එබැවිනි.
ඒ මෑත කාලීන ඉතිහාසය රාව ප්‍රතිරාව දෙනු දැකීමට කිසිවකුත් කැමැති නැත. අමාරුවෙන් හිස ඔසවන මේ කාලයේදී පාර්ලිමේන්තුවේ කටයුතුවලින්ද රටට ඉහළම ආදර්ශය ලබාදීම අවශ්‍යය. හදිසි රැස්වීමකට පැය එකහමාරක් පාර්ලිමේන්තුව විවෘත කර තැබීම වැනි ක්‍රියා මගින් එයට රුකුලක් ලැබෙන්නේ නැත.
(***)