අනතුරු සිදු වන්නේ කල් ඇතිව දැනුම් දී නොවේ. එහෙත් ඇතැම් අනතුරු වළක්වාගත හැකිය. එයට එළැඹගත් සිහියෙන් ක්‍රියා තළ යුතුය. එසේම ඇතැම් අනතුරුවලට හේතුව නොසැලකිල්ලය. හේතුව කුමක් වුවද අනතුරුවලින් ජීවිත අහිමිවීම වළක්වා ගැනීමේ අවශ්‍යතාව දැඩිව අවධාරණය කළ යුතුව තිබේ.
ගම්පොළ සේනාධිකාරී ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන විශ්මි පූර්ණිමා හංසමාලි නැමැති දැරිය ඉකුත් 22 වැනිදා උදෑසන එම පාසල අසලදී පෞද්ගලික බස් රියකට යටවී කුරුඳුවත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය යාමේ අතිශයින්ම අනුවේදනීය පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.
ඉපදෙන සියල්ලන්ම මිය යනු සැබෑය. මරණය රැගෙන එන්නේ උපතින්මය. එහෙත් ඉපදෙන සත්වයාට තම ආයු කාලය විඳ මිය යාමේ අයිතියක් තිබේ. එම අයිතිය අහිමිව යකඩ කඳන්වලට යටවී ජීවිතයේ හිමිදිරි උදෑසනම ජීවිතයට සමුදීමට විශ්මි පූර්ණිමා හංසමාලී දියණියට සිදු විය.
විශ්මි පූර්ණිමා දැරිය යටවී තිබෙන්නේ ඇය පැමිණි බස් රියටමය. කුඩා දරු දැරියන් ආරක්ෂාකාරීව ප්‍රවාහනය කිරීමත් නිරුපද්‍රිතව බස් රියෙන් බැස්සවීමත් බස් රියාදුරාගේ සහ කොන්දොස්තරවරයාගේ වගකීමය. විශේෂයෙන්ම කුඩා දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුමය. පුංචි දරුවෝ දඟකාරයෝ වෙති. එමෙන්ම අනතුරු සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන්නෝ වෙති. ඒ ළමා වියේ ස්වරූපය විණා අන් යමක් නොවේ.
කුඩා දරුවන්ගේ සිත් කියැවීමට වැඩිහිටියන් සමත් විය යුතුය. බස් රථයට ඉදිරියෙන් පාර හරහා පැනීම අනතුරුදායකය. එහෙත් කුඩා දරුවන්ට ඒ සම්බන්ධ විශේෂ අවධානයක් නැත. බස් රථ රියැදුරාට ඒ සම්බන්ධ අවබෝධයක් තිබිය යුතුය. දරුවන් නිරුපද්‍රිතව පාර හරහා මාරු කරවීම කොන්දොස්තරවරයාගේ අමතර වගකීමක් නොව ඔහුගේ වගකීමේම කොටසකි. එම වගකීම් නිසි රිසි ලෙස ඉටු වූයේ නම් පුංචි දැරිවියකට මෙසේ අකාලයේ ජීවිතයට සමු දීමට සිදුවන්නේ නැත.
අප ප්‍රවෘත්තියට අනුව ගම්පොළ සේනාධිකාරි ජාතික පාසලේ ප්‍රාථමික අංශයට පිවිසීමට මාර්ග දෙකක් තිබෙන අතර ප්‍රධාන ගේට්ටුව අසල හෝ අනතුර සිදුවූ මාර්ගය අසල හෝ උදෑසන රාජකාරි කිරීම සඳහා පොලිස් නිලධාරියකු සිට නොමැත.
පාසල විවෘත වන වේලාවට හා අවසන් වන වේලාවට රථවාහන හැසිරවීම සඳහා පොලිස් නිලධාරීන් යෙදවීම පාසල් දරුවන්ගේ ආරක්ෂාවට ඉතා අවශ්‍ය පියවරකි. බොහෝ පොලිස් ස්ථාන එම රාජකාරිය අකුරටම ඉටු කරනු දැකිය හැකිය. එහෙත් මෙම පාසල අසල රථ වාහන හැසිරවීම සඳහා පොලිස් නිලධාරියකු සිට නැත.
අප පුවත්පත ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසා ඇති අතර ඔහුගේ පිළිතුර වී තිබෙන්නේ මුළු පොලිසියේම සිටින්නේ නිලධාරීන් විසි දෙනකු බවත් ඉන් දහතුන් දෙනකුම මාතලේ රාජ්‍ය වෙසක් උත්සවයේ විශේෂ රාජකාරි සඳහා ගොස් ඇති බවත්ය.
අපගේ මිණුමට අනුව පොලිස් ස්ථානාධිපතිවරයාට කළ හැකි දෙයක් නැත. ඔහුට තිබෙන්නේ ඉහළින් එන නියෝග පිළිපැදීමට පමණි. එම නියෝග සමග කේවල් කිරීමේ බලයක් පොලිස් නිලධාරීන්ට නොමැත. මෙතැන සිදුවී ඇත්තේ ද එය විය යුතුය.
එක් අනතුරක් සම්බන්ධයෙන් අපගේ මෙම විශේෂ අවධානය මෙවැනි විපත් වැළැක්වීම සඳහා සියල්ලන්ගේම අවධානය යොමු කරවීමය. එසේ නොවුණහොත් දරුවන්ට, අප පුරවැසියන්ට මහ මගට බැසීම දින නියමයක් නැති මරණ සහතිකය අතට ගැනීමක් වනු ඇත.
(***)