මාතර නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුවකු විසින් එල්ල කරන ලද පිහි පහරකින් මාතර නගරයේම තවත් ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 19 හැවිරිදි සිසුවකු මියයාමේ සංවේග දනවන පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. පාසල් බිමේ ඇති වූ ගැටුමකින් පසුව නවය ශ්‍රේණියේ සිසුවකුගෙන් පහර කෑ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන පාසලේ ශිෂ්‍ය නායකයකු ද වන සිසුවකු මිය යාමේ පුවත ද අප පුවත්පත වාර්තා කරනු ලැබුවේ පෙර පුවත වාර්තා කළ දිනයේදීමය.
අපගේ අවධානය යොමු වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණය වෙත නොව, රට යන අත ඉඟි කරන මෙබඳු සිදුවීම් හරහා නිකුත් කෙරෙන සංඥාව දෙසය. එම සංඥාව එයට හිමි නිසි බරින් හඳුනා ගත යුතුය. නොඑසේ නම් මේ රට යළි ගොඩගත නොහැකි තරමට මහා විශාල ප්‍රපාතයකට ඇද වැටෙනු ඇත.
දෙනෝදාහක් ජනී ජනයා ඉදිරිපිටදී සම වයසේ පාසල් සිසුවකුට පිහියෙන් ඇන මරා දැමීමට තරමටම සිසු හදවත් දරුණු වූයේ කෙසේද? පාසලේදී මතු වූ ප්‍රශ්නයකින් අනතුරුව මාරාන්තික තුවාල සිදුවන තරමට දබර කර ගැනීමට සිසුන් පෙළඹීම කවර කාරණයක් මත සිදුවන්නක් ද?
අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ කොළඹ ප්‍රසිද්ධ පිරිමි පාසලක සිසුන් පිරිසක් විදුහල් බිමේදීම සිසුවකුගේ අත කැඩෙන්නට පහර දී ඇති බවය. මෙම පහරදීම සිදුවන අවස්ථාවේ ගුරුවරුන් හා ශිෂ්‍ය නායකයන් පිරිසක් ද එහි සිට ඇතැයි අප ප්‍රවෘත්තියේ සඳහන්ය. ශිෂ්‍යයාට පහරදීමට ශිෂ්‍යයන් විසි දෙනකු පමණ එක් වී ඇතැයි ද අප ප්‍රවෘත්තිය කියයි.
එම ප්‍රවෘත්තියේ සඳහන් වන අනෙක් කරුණ වන්නේ ශිෂ්‍යයන්ට මෙසේ පහර දී මුදල් කොල්ලකෑමේ සිදුවීම් 29ක් සම්බන්ධ පැමිණිලි මේ වසරේ ගතවූ කාලය තුළදී පොලිසියට ලැබී ඇති බවය. පාසල් තුළත් පාතාල මාෆියා කල්ලි නිර්මාණය වී ඇතැයි සැක කළ හැකි මෙබඳු පන්නයේ සිදුවීම් කොළඹ ඉහළ පැලැන්තියේ පාසල් වෙතින් වරින්වර වාර්තා වේ.
ගම හා නගරය යනුවෙන් බෙදීමකින් තොරව මෙරට සිසු පරපුර බරපතළ ව්‍යසනයකට ගොදුරු වී තිබෙන බව ඉඳුරාම ප්‍රත්‍යක්ෂව ඇති සත්‍යයකි. නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ, අපරාධ හා අපචාරවලට ගොදුරුවන පාසල් ළමයින්ගෙන් බහුතරයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවය. අප දරුවන්ගේ ඉරණම ලියැවෙමින් තිබෙන්නේ කොතරම් සාහසික ආකාරයෙන් ද යන්න පැහැදිලිය.
ඉතිහාසය මඟ නතරව සසලව ඉකි ගසන තරමට ඛේදනීය සිදුවීම් එකක් පසුපස එකක් වශයෙන් වාර්තාවෙමින් තිබේ. එක් පුවතකින් කියැවුණේ පුතුගේ පොලු පහරින් මව හා පියා මිය ගිය බවය. සිය තරුණ දියණිය මරා මළ සිරුර පුළුස්සා නිවෙසට වී සිටි වියපත් අම්මා කෙනකු සම්බන්ධ ප්‍රවෘත්තිය මෙයට දෙතුන් මසකට ඉහතදී ය. පියාගේ පොලු පහරින් මියගිය පුත්‍රයන් සම්බන්ධ පුවත් ද දියණියගේ පොලු පහරින් මියගිය පියකු සම්බන්ධ පුවතක් ද වාර්තා වූයේ දෙතුන් සතියකට ඉහතදී ය.
බුදුන් පහස ලද, පන් දහසක් කල් සස්න රක්නා රට යැයි විරුදාවලි ලත් නයන පිනවන මේ රන් දිවයින චිකාගෝවක් බවට පත්වී තිබේ. ‘‘මිනිසා නොහදා රට හදන්නට බැරි’’ යැයි ඒකාන්ත වශයෙන්ම පිළිගත් සමාජයක මිනිසා හැදීම ආරම්භ කළ යුතු පාසල් පද්ධතිය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව කම්පාවට පත්විය යුතුය. මේ රට මේ තත්ත්වයට පත් විය යුතු රටක් නොවන බව විවාදයකින් තොරය. එහෙත් රට හදන තැන මස් පිඬු ප්‍රදර්ශනාගාරයක් බවට පත්වූ පසු ජනතාව වෙනුවෙන් පිහි රැගෙන මැති සබය මැදට පැන ප්‍රතිවාදියාගේ ඇඟ මස උදුරා ගැනීමට උත්සාහ කරන විට, රටේ තුන්වැනි පුරවැසියා වන කතානායකවරයාට මිරිස් කුඩු ප්‍රහාර එල්ලවන තත්ත්වයක ඒවා ආදර්ශයට ගෙන ජනතාව ද ඒ මාර්ගයේම ගමන් කරන්නේ දැයි සැකයකි.
කෙසේ වෙතත් නිර්මාණය වී ඇති ඛේදනීය තත්ත්වයට මවුපියන් වගකිව යුතුය. පාසල් ප්‍රධානීන් ඇතුළු ගුරුවරුන් වගකිව යුතුය. වඩාත් යහපත් හෙට දවසක් ප්‍රාර්ථනා කරන පුරවැසියන් මේවාට වගකිව යුතුය. පාලකයන් වග කිව යුතුය. සමස්ත සමාජයම එකවිටම එක්ව මෙම අර්බුදයට උත්තර සෙවිය යුතුය. නැතහොත් රටක් වෙනුවට නරකාදියක් බිහි වනු ඇත.