අගය කළ යුතු දෙය අගය කළ යුතුමය. මේ ඒ වෙනුවෙන් ලියැවෙන්නකි. වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අති දුෂ්කර ප්‍රදේශයක් වන පාරේගම, පැනියාවල ජනපදයේ ජනයා රටට ලබාදුන් අගනා වටිනා ආදර්ශය උත්කර්ෂයට නැංවිය යුතුමය.
1966 වසරේ කළුතර දිස්ත්‍රික්කයේ ගොවි ජනපද හතරක් පිහිටුවා තිබෙන අතර පැනියාවල ජනපදය ඉන් එකකි. එහි පදිංචි වූවන්ට වගා කිරීමට අක්කර දෙකක්ද නිවසක් තනා ගැනීමට අක්කර භාගයක්ද රජයෙන් ලබා දී තිබේ. එම ගොවි ජනපදයේ කටයුතු සම්බන්ධීකරණයට අංගසම්පූර්ණ කාර්යාලයක්ද එකල ස්ථාපනය කර ඇත. ඒ ඊටම යාබද පොහොර ගබඩාවක්ද සමගිනි. ගොවීන්ගේ අස්වනු ප්‍රවාහනයට ට්‍රැක්ටරයක්ද ලබාදී ඇත. ඉසුරුමත් අනාගතයකට එම ජනයා තුළ සිහින දලුලා වැඩුණේ එම පරිසරය තුළය.
එහෙත් එම සිහින 1987-89 භීෂණ යුගයේ දී ගිනිගත්තේය. අන්තවාදීන්ගේ බලපෑම් නිසා එම සමිතියේ කටයුතු ඇණහිටියේය. මිරිස්වත්ත තේ කර්මාන්ත ශාලාව ගිනි තබා විනාශ කෙරිණි. අක්කර පහක භූමිය සහිත ගොඩනැගිල්ල, පොහොර ගබඩාව වල් බිහිවී විනාශ විය.
එම අතීතයට වසර 35කි. භීෂණ සමය ගෙවී ගොස් සෑහෙන කාලයක් ගත වුවද මෙම ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කර ගොවි ජනයාට පහසුකම් සැලසීමට කිසිදු බලධාරියකුගේ අවධානය යොමු වී නැත. ජනතා දේපොළ වනාන්තරගතව ඔහේ දිරාපත් වෙමින් තිබිණි.
පැනියාවල ජනපදයේ ජන පවුර සුබසාධන, මරණාධාර සහ ග්‍රාම සංවර්ධන සමිතිය ඉකුත් දා ප්‍රදේශවාසී ජනයා සමග එක්ව භූමිය ශුද්ධ පවිත්‍ර කර අබලන් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කර තීන්ත ආලේපනය කර නැවතත් පරිහරණයට සුදුසු මට්ටමකට රැගෙන විත් ඇත. ජනපදයේ සියල්ලන්ගේම සහයෝගය මෙම අගනා සද්කාර්යයට ලැබී ඇතැයි අප පුවත්පත වාර්තා කළේය.
තේ සහ කුරුඳු වගාවෙන් ජීවත් වන පැනියාවල ජනපදයේ ජනයා ලබාදුන් ආදර්ය එයට හිමි බරින් ගත යුතුය. මන්දයත් බොහෝ දෙනකු බලා සිටින්නේ සියල්ල රජයෙන් සිදුවන තුරුය. ‘එය රජයම කළ යුතු දෙයක්’ යැයි බොහෝ අවස්ථාවලදී ජනයා සිතති.
සැබැවින්ම පැනියාවල ජනපදයේ ජනයා පිළිසකර කර තිබෙන්නේ රජයේ දේපොළකි. ඒ සඳහා අවසරය නිසි පරිදි ලබාගෙන ඇති බවද අප ප්‍රවෘත්තියේ සඳහන්ය. රජයේ දේපොළක් නම් එය පිළිසකර කළ යුතු වන්නේ රජයම වේ. එහෙත් ඒ දෙය එසේම සිදු නොවේ. බොහෝ රාජ්‍ය දේපොළ අභාවයට ගොස් තිබෙන්නේ එහෙයිනි. එහෙත් එහි පාඩුව එයින් ප්‍රයෝජන ඇති ජනතාවටය.
රටක් සංවර්ධනය වීමට ඇති එක් ප්‍රධාන සාධකයක් ලෙස හඳුනාගෙන තිබෙන්නේ එම රටෙහි ජීවත් වන ජනයාගේ යැපුම් මානසිකත්වය හෙවත් පරපුටු මානසිකත්වය වේ. විශේෂයෙන්ම තුන්වැනි ලෝකයේ රටවල ජනතාව තුළ මෙම යැපුම් මානසිකත්වය ජානගත වී තිබේ. එයට හේතුව එම රටවල් දීර්ඝ කාලයක් යටත් විජිත වශයෙන් පැවතීමය.
ශ්‍රී ලංකාවද වසර හාරසිය ගණනක් යටත් විජිතයක්ව පැවතිණි. එහෙයින්ම අප ජනයා තුළ ද මෙම යැපුම් මානසිකත්වය අඩු වැඩි වශයෙන් තිබේ. පැනියාවල ගොවි ජනපදයේ ජනයා රට හමුවේ ඔප්පු කර පෙන්වූයේ ඔවුන් එම යැපුම් මානසිකත්වයෙන් මිදී ඇති බවය. එම අගනා ආදර්ශය සෙසු ජනයා එයට හිමි බරින් ග්‍රහණය කර ගත යුතු වන්නේ එහෙයිනි.
(***)