වසර 15කට වැඩි කාලයක් පුරන්ව තිබූ මීගොඩ වෙල්යායේ අක්කර 20ක පමණ කුඹුරු යායක් යළි අස්වැද්දීමට ගත් උත්සාහයක් වැළකී ගොස් ඇතැයි එම ප්‍රදේශයේ ගොවීන් ප්‍රකාශ කරන බව අපගේ ලංකාදීපය පසුගිය දා හෙළි කර තිබිණි. මේ නිසා එම වෙල්යාය යළි අස්වැද්දීමට තමන් තුළ තිබූ බලාපොරොත්තු මිරිඟුවක් බවට පත්ව ඇතැයි එම ගොවීන් චෝදනා කරන බව ද එහි සඳහන්ය.
මෙම ගැටලුවට හේතුව, එම අස්වැද්දීම සඳහා උපයෝගි කරගතයුතුව තිබූ ඇළ මාර්ගයක් වැරැදියට සංවර්ධනය කිරීමට යාම බව ද ගොවීන් පෙන්වා දී තිබේ. මේ කුඹුරු පුරන් වී යාමට හේතු වී තිබුණේ ද එම ඇළ මාර්ග ගොඩ වීමේ ගැටලුවයි. එම ඇළ මාර්ග යළි සකස් කර පුරන්ව ගිය කුඹුරු යළි අස්වැද්දීමට ගොවීන් දිරිමත් කර තිබුණේ වටරැක උතුර ගොවි සංවිධානය බවත් ඔවුන් කියා තිබිණි.
ප්‍රදේශය භාර කෘෂිකර්ම පර් යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි මහතා සහ හෝමාගම ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරිවරයාගේ අධීක්ෂණය යටතේ සිදු කළ ව්‍යාපෘතියක් වශයෙන් අදාළ ඇළ මාර්ගය සංවර්ධනය කිරීම ඇරැඹුණත්, එය අතරමග නැවතීම ගොවීන් මහත් අපහසුතාවකට ඇද දමා තිබේ. දැන් සිදුව ඇත්තේ, පුරන්ව තිබූ කුඹුරු අස්වැද්දීම කෙසේ වෙතත් සුළු වැස්සකටත් ඇළේ වතුර පිටාර ගලා, කුඹුරු ජලයෙන් යට වීම බව සඳහන්ය. මේ තත්වය එම ගොවීන් වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීමකි.
පුරන්ව ගිය කුඹුරු අස්වැද්දීමේ උත්සාහය ඇළ මාර්ගයක ගැටලුවක් හේතුවෙන් කඩාකප්පල් වී යාමට ඉඩ දිය යුතු නැත. ඒ සම්බන්ධයෙන් සොයා බලා නිසි පියවර ගැනීමේ වගකීමෙන් වටරැක උතුර ගොවි සංවිධානයට මිදිය නොහැක. ගොවීන්ගේ අවශ්‍යතා ඉටු කර දීම සඳහා ඇළ මාර්ග සංවර්ධනයට රජයෙන් වෙන් කරවාගත් මුදල් ද මේ හේතුවෙන් අපතේ ගොස් තිබේ. ඒ ගැන ගොවීන් ප්‍රශ්න කිරීමත්, වේදනාවට පත්වීමත් අමුත්තක් නොවේ. දැන් කළ යුත්තේ, ගොවි සංවිධානයත්, අදාළ රජයේ නිලධාරීනුත් එකිනෙකා මත වරද පැටවීමට ක්‍රියා නොකර, ගොවීන්ගේ අවශ්‍යතාව ඉටු කර දීමට සාමූහිකව ක්‍රියාත්මක වීමයි. එසේ පියවර ගැනීමකින් තොරව ගොවීන්ට සාධාරණය ඉෂ්ට නොවේ.
බැලූ බැල්මට මෙය කුඹුරු අක්කර 20ක ගැටලුවක් වශයෙන් මතුපිටින් පෙනී ගියත්, එය මේ රටේ පුරන් කුඹුරු අස්වැද්දීමට දරන ප්‍රයත්නයේ අඩුපාඩු රට ඉදිරියේ විවර වීමකි. හැම බිම් අඟලකම වගා කළ යුතු බවට දේශනා පවත්වන බොහෝ දෙනා ඒ සඳහා අවශ්‍ය පහසුකම් නොලැබී යාමේදී ගොවීන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් දීමට ඉදිරිපත් වන්නේ නැත. ඇතැම් දේශපාලනඥයන් හා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මහ ඉහළින් උත්සව පවත්වා අපේ රටේ ආරම්භ කෙරෙන ඇතැම් ව්‍යාපෘතිවලට අවසානයේ අත්වන ඉරණමද මෙයින් පැහැදිලි වේ. ඒ අර්ථයෙන් ගත් කල, වටරැක පුරන් කුඹුරු ප්‍රශ්නය මේ රටේ සමස්ත ගොවි ජනතාවට බලපාන ගැටලුවක පොදු සාධකයක් බව පෙන්වා දිය යුතුය. අක්කර දහස් ගණනක් වන රට පුරා ඇති පුරන්ව ගිය කුඹුරු යළි අස්වැද්දීම මෙවැනි ගැටලු හේතුවෙන් එක තැන පල් වෙමින් තිබෙනු ඇතැයි සිතා ගැනීම අපහසු නැත. මීගොඩ අක්කර 20න් පෙන්වා දී ඇත්තේ ඒ යථාර්ථයයි.
ඇළ ගැටලුව සම්බන්ධයෙන් හෝමාගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරිවරයාගෙන් ‘ලංකාදීප’ය කළ විමසීමේදී, එහි ප්‍රශ්නයක් තිබෙන බව පිළිගෙන තිබිණි. ඇළ මාර්ග සංවර්ධනයට මුදල් වෙන් කිරීමට පෙර තාක්ෂණික නිලධාරියකුගේ වාර්තාවක් කැඳවන බවත්, මුදල් ප්‍රතිපාදන ලැබෙන්නේ ඔහුගේ ඇස්තමේන්තුවට අනුව බවත් පවසා තිබූ එම නිලධාරිවරයා, ලැබුණු ප්‍රතිපාදන අනුව සම්පූර්ණ ඇළ මාර්ගයම සකස් කිරීමේ කටයුතු සිදු නොවීමට ඉඩ තිබෙන බව ද ප්‍රකාශ කර තිබිණි.
මීගොඩ ගොවීන්ට ඉතිරිව ඇත්තේ එම කතාව අසාගෙන සුසුම් හෙළීම පමණ ද? අපගේ වැටහීම නම්, මේ ගොවි පිරිසගේ ගැටලුවට විසඳුම් ඇති බවය. එය ඉටු කර දීම බලධාරීන්ගේ වගකීමය.
(***)