පොරොන්දු දේශපාලනයෙන් රට වනසන දේශපාලනය


මේ රටේ දේශපාලනය මින් පෙර කවදාවත් නොවූ විරූ ආකාරයට ජනතාවගේ දැඩි විවේචනයට ලක්වෙමින් තිබේ. එම විවේචනය තුළ ජනතාව අතරේ පවතින කලකිරීම, කෝපය සහ බලාපොරොත්තු බිඳවැටීම කැටි වී තිබේ. රටේ ඇතැම් ප්‍රදේශවල මැති ඇමැතිවරුන්ට එරෙහිව ඇතැමුන් දක්වන ප්‍රතිචාර ජනතාවගේ එම බලාපොරොත්තු කඩවීම කොතරම් බරපතළ තත්ත්වයකට පත්ව ඇතිදැයි පෙන්වා දෙයි. මේ තත්ත්වයට හේතු සොයා පිළියම් යෙදීම රටේ යහපතට හේතුවනු ඇත.

ජනතාවට දරාගත නොහැකි ආකාරයට බඩු මිල නැග තිබියදී ඒ ගැන කෝප නොගන්නා ජනතාවක් මේ රටේ සිටිය නොහැක. සිටිනවා නම් නිර්වින්දනය වී සිටින පිරිසක් විය යුතුය. කෘෂිකාර්මික ජීවන රටාව සමඟ අත්වැල් බැඳගත් රටක් වන මේ රටේ ගොවි ජනතාවට තමන්ගේ වගාවට සුදුසු පොහොර නොලැබෙන්නේ නම් ඔවුන් කුඹුරු අතහැර පාරට පැමිණ උද්ඝෝෂණය කිරීම බලාපොරොත්තු විය යුතුය. විදුලිය නිරන්තරයෙන් කප්පාදුවට ලක්වන විට සිදුවන්නේත් කෝපයත් කලකිරීමත් ඉහ වහා යාම පමණි. මේ ගැටලු‍වලට විසඳුමක් නුදුරු අනාගතයේදී ලැබෙන බවට ලකුණක් හෝ නොමැති වීම බරපතළම ගැටලු‍වය.

ජනතාව මේ ආකාරයට දැඩි අසහනකාරී තත්ත්වයකට තල්ලු‍ වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ දේශපාලන නායකයන් ලබාදෙන පොරොන්දු ඉටු නොවන බව පෙනීයාමය. ආණ්ඩු පක්ෂ හෝ විපක්ෂ වශයෙන් හෝ වෙනසක් නොමැතිව ජනතාව අසහනයට පත්ව සිටින බව මෙහිදී කැපී පෙනෙයි.

පොරොන්දු ඉටු නොවන විට ජනතාවට හැඟෙන්නේ තමන් ආණ්ඩුව විසින් රැවටීමකට ලක්කර සිටින බවය. ඉටු නොවන පොරොන්දුවල බරට රටේ ආර්ථික ප්‍රශ්නවල බරද එකතු වූ විට ජනතාවගේ කෝපය සහ කලකිරීම ඉහ වහා යාම ගැන විශ්මයට පත්විය යුතු නැත.

දේශපාලනඥයන් විසින් ලබාදෙන ඡන්ද පොරොන්දු පිළිබඳව සඳහන් කිරීමේදී ඉටුකළ නොහැකි පොරොන්දු ලබාදීම අතින් අපේ රට කප් ගසා සිටින බව ආපසු හැරී බලන විට පහසුවෙන් අවබෝධ කරගත හැක. මේ පොරොන්දු බොහොමයක් කෘෂිකර්මය සමඟ ගැටගැසී තිබෙන බවද සඳහන් කළ යුතුය. තරමක අතීතයට ගියොත් හඳෙන් හෝ ගෙනැවිත් රටේ ජනතාවට සහල් ලබාදෙන බවට වූ පොරොන්දුව කැපී පෙනේ. ඉන්පසුව සතිපතා ජනතාවට ධාන්‍ය රාත්තල් අටක් ලබාදෙන බවට වූ පොරොන්දුවක්ද විය. මේ අවස්ථා දෙකේදීම සිදුවූයේ ජනතාවගේ බලාපොරොත්තු කඩවීමය. හඳෙන් හෝ සහල් ලැබෙන බලාපොරොත්තුවෙන් කතිරය ගැසූ ජනතාවට අවසානයේ සිදුවූයේ සතියකට දින දෙකක් බත්කෑම තහනම් වීමය. ධාන්‍ය රාත්තල් අටක් ගැනීමට ඇඟිලි ගණන් කරමින් සිටි ජනතාවට සිදුවූයේ කඩ සාප්පුවල ගොඩගැහුණු විවිධ වර්ගයේ ආහාර ද්‍රව්‍ය දෙස බලාගෙන සුසුම් හෙළීමටය. මිල ගණන් බලා සිටියදී ඉහළ යාම එයට හේතුවක් විය. පාන් ගෙඩියක් රුපියල් 3.50ට ලබාදෙන බවටද පොරොන්දුවක් තිබිණි. එය ක්‍රියාත්මක වූයේ මාස කිහිපයකට පමණි. ඊළඟට පාන් ගෙඩියේ මිල කිහිප ගුණයකින් වැඩි විය.

ගොවීන්ට පොහොර ලබාදීමද ඕනෑම මැතිවරණයකදී හොඳට තෙම්පරාදු වන පොරොන්දුවකි. එය වරින්වර විවිධ ස්වරූපවලින් පැමිණ තිබේ. ආසන්නම ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී පොහොර අඩු මිලට පමණක් නොව නොමිලේ පවා ලබාදීමට තරගයට මෙන් පොරොන්දු දුන්නේය. එහෙත් පොහොර නොමිලේ ලැබීමේ බලාපොරොත්තුවෙන් සිටි ගොවි ජනතාවට සිදුවූයේ මිලට ගන්නට තිබූ රසායනික පොහොර ටික පවා නොලැබී යාමය. වී ගොවිතැන පමණක් නොව සමස්තයක් වශයෙන් කෘෂිකර්මාන්තයම දැඩි අර්බුදයක ගිලී යාමය. එය රටේ ඉතා වැදගත් ආහාර සුරක්ෂිතතාව පවා බරපතළ අනතුරකට ඇද දමා තිබේ.

ලබාදෙන පොරොන්දු ඉටු කිරීමට යාමේදී නිසි සොයාබැලීමකින් හෝ නිවැරදි දැක්මකින් කටයුතු නොකිරීමේ පල විපාක පොහොර අර්බුදය මගින් රටේ සියලු‍ නායකයන් වෙත පෙන්වා දී තිබේ. මෙවැනි අදූරදර්ශී තීන්දුවල අහිතකර ප්‍රතිඵල දැක දැකත් තවදුරටත් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී පවා යථාර්ථවාදී නොවන පොරොන්දු ලබාදීමට දැන් සිටම කැසකවන නායකයන් සිටීම කනගාටුවට කරුණකි. රටේ ඊළඟ පරම්පරාව වෙනුවෙන් ප්‍රතිපත්ති සැකසීමට වඩා ඊළඟ ඡන්දයේදී තමන්ට ලැබෙන ඡන්ද ප්‍රමාණය ගැන ගණන් හදාගෙන ලබාදෙන පොරොන්දුවලින් රටට සිදුවන යහපතක් නැත. එවැනි ප්‍රතිපත්ති මත රැඳී පොරොන්දු ලබාදීම හැකි තරම් අධෛර්යවත් කළ යුතුය. ප්‍රතිපත්ති හැදිය යුත්තේ රටේ අනාගතය සැලසුම් කිරීමට මිස තමන්ගේ දේශපාලන අනාගතය සැලසුම් කිරීමට නොවන බව සියලු‍ දේශපාලන නායකයන් දැනගත යුතුය. මේ පිළිබඳව ජනතාව තේරුම් ගැනීමද අවශ්‍යය.

රට බොරු පොරොන්දු දේශපාලන ග්‍රහණයෙන් මුදාගැනීමට ජනතාවගේ මේ තේරුම් ගැනීම වැදගත් වෙයි. තමන්ට හැමදාම රැවටෙන ජනතාවක් සිටින බව සහතික නම් දේශපාලනඥයන් මැතිවරණවලදී ඉටුකළ නොහැකි පොරොන්දු ලබාදෙන බව අවබෝධ කර ගැනීම දුෂ්කර නැත. ඉටුකළ හැකි පොරොන්දු වුවද නිසි අධ්‍යයනයකින් තොරව ඒවා ක්‍රියාත්මක කිරීමෙන් වැළකිය යුතු බවට වර්තමානයෙන් උගත හැකි පාඩම් තිබේ. එහෙත් උගත් පාඩම් ඇසුරෙන් කිසිදු දැනුමක් ලබාගැනීමට උනන්දුවක් නොදක්වන, ඒ දැනුමට සංවේදී නොවන ජනතාවක් සිටින විට මේ චක්‍රය හැමදාම එකතැන කැරකෙනවා මිස නවතින්නේ නැත.

(***)