ශ්‍රී ලාංකේය ජාතියේ නැණස පෑදූ ලොව බලවත්ම විශිෂ්ටතම හා විසිතුරුම සංස්කෘතියකට සවිමත් පදනම දැමූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ අසිරිමත් ශ්‍රී ලංකාගමනය සිහිපත් කෙරෙන වන්දනීය පූජනීය පොසොන් පුර පසළොස්වක පොහොය අද ය . එම අසිරිමත් මහින්දාගමනය සිහිපත් කරමින් මුළු මහත් ශ්‍රී ලංකාද්වීපයම එක්සත්ව එක්සිත්ව පෙළගැසී සිටින මේ මොහොතේ ඒ විචිත්‍රවත් පාරමිතා පෙරහරට අපමණ සැදැහැ සිතින් ලංකාදීපය ද එක්වන්නේ සකල ජනී ජනයාගේ සිත් සතන් නිවී සැනසීම් බවට පත් වේවා යන උසස් ප්‍රාර්ථනය පෙරදැරිව ය.
සාරාසංඛ්‍ය්‍ය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරා සව් කෙළෙස් මුලිනුපුටා දමා ලොව්තුරා බුද්ධත්වයට පත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ නිරාමිස ප්‍රිතියෙන් වදාළේ චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, විජ්ජා උදපාදි, පඥා උදපාදි, ආලෝකෝ උදපාදි’’ යනුවෙනි. ලොව විනිවිදින ඇස පහළ විය. ඥානය පහළ විය. විද්‍යාව පහළ විය, ප්‍රඥාව පහළ විය, ආලෝකය පහළ විය යන්න එහි සරළ අර්ථය වේ. නියත වශයෙන්ම අසිරිමත් මහින්දාගමනයෙන් ශ්‍රී ලාංකේය ජාතියට එකී සාඩම්බර දායාද සියල්ලම උරුම විය. ලොව කිසිදු රටකට නොදෙවැනි අදීන, අදම්‍ය, අපරාජිත ශ්‍රේෂ්‍ඨ ජාතියක්ව නැගී සිටීමට නයන පිනවන මේ රන් දිවයිනට හැකි වූයේ ඒ ආනුභාවයෙනි.
සසර නිසරු ය. ඉපිද ඉපිද මැරි මැරී යාම එහි ස්වභාවය වේ. මේ ගමන නතර කිරීමෙන් මෙපිට සත්වයාට මිදීමක් නිවීමක් විමුක්තියක් නැත. නිසරු සසරේ අතරමං වූ සත්වයාගේ නියත උරුමය වන්නේ දුකම ය. ‘‘දුක්ඛෝ ලෝකෝ පතිට්ඨිතෝ’’ යනුවෙන් බුදුපියාණන් දේශනා කළ පරිදිම ලෝකය පිහිටා තිබෙන්නේ දුක මත ම ය. දුක මත පිහිටා ඇති ලෝකයෙන් සැප බලාපොරොත්තු විය නොහැකිය.
කරුණු කාරණා එපරිදි වුවද මෙම ඒකාන්ත සත්‍ය අවිද්‍යාවේ අන්ධකාරයෙන් මෙන්ම මෝහාන්ධකාරයෙන් ද වැසී යටපත් වී තුනීවී ගොස් තිබේ. එහෙයින් ජීවිතාවබෝධය ගිලිහී සත්වයෝ තාවකාලික සුවයක් පතා වෙහෙසෙති. නොඑසේ නම් නොපෙනෙන පිහිටක් අයදිමින් තමන්ගේ ජීවන ඉරණම දෛවයට බාරදී නිහඬව සිටිති.
මහින්දාගමනයෙන් ශ්‍රී ලාංකේය ජනයාට නව ඇසක් ලැබුණි. අවිදු තිමිර පටලය කීතු කීතු කර ඉරා දමන ප්‍රඥාවේ ආලෝකය ලැබිණි. වල්මත්ව සිටි ජාතියකට අපරාජිත ඉලක්කයක් ලැබිණි. ජීවිතය ධාර්මිකව ගෙවමින් අර්ථාන්විතව ගත කිරීමේ මඟ පෑදුණි. මිහිදු මහ රහතන් වහන්සේ මෙරටට දායාද කළ උතුම් එමෙන්ම ගැඹුරු දහම අවබෝධ කරගැනීමට තරම් සමත් ප්‍රඥාවක් අප ජනයා සතුව තිබිණි. ‘‘පන් දහසක් කල් සස්න රක්නා රට’’ යැයි බුදුපියාණන් වහන්සේගේ පින් සිරිබර මුව කමලෙන්ම නියත විවරණ ලැබීමට මේ පුණ්‍ය භූමිය වාසනාවත්ත වූයේ එහෙයිනි.
බුදුන් පහස ලද අනුබුදු මිහිදු මහරහතන් වහන්සේගේ පහස ලද පින්කෙත අද එක් අතකින් පුරන් වී ඇත. ආලෝකයෙන් ආලෝකයට යන මාවත වෙනුවට ආලෝකයෙන් අන්ධකාරය වෙත ගමන් කිරීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී තිබේ. ජාතික සමගිය, ආගමික සංහිඳියාව දෑසක්ව පැළඳිය යුතු වුවද දෙඅතින්ම ඇස් උගුළුවා දැමීමට උත්සාහ දරන බවක් පෙනේ. අවුළුවාගත් මහා මිනිස් අනුරාගයෙන් පණපෙවී අවදිකරගත් සාමූහික විචාර බුද්ධියෙන් කටයුතු කිරීම වෙනුවට අවිචාරය මෙන්ම මුග්ධ බව සාඩම්බර පදක්කමක්ව පැළඳීමට වැඩි අභිරුචියක් දක්වන්නට ඉදිරිපත් වී ඇති සෙයකි.
මේ වූ කලී දැහැමි බවින් මිදීමේ තාර්කික අන්තය විනා අන් යමක් නොවේ. විද්‍යාව වෙනුවට මිථ්‍යාව වෙතත්, මෛත්‍රිය වෙනුවට වෛරය වෙතත් ගමන් කිරීමෙන් මෙයට වඩා අත්පත් කර ගත හැකි නස්පැත්තියක් නැත.
එබඳු පරිසරයක වුවද පොසොන් උළෙලට මුළු රටට සැරසෙන ආකාරය දකින විට නිරාමිස ප්‍රීතියක් උපදී. බුද්ධාලම්භන ප්‍රීතියක් ජනිත වේ. කවර දුෂ්කරතා අභියෝග හා අසීරු ඉලක්ක මැද වුවද ප්‍රධාන ජාතික ආගමික මංගල්‍යය වෙනුවෙන් පුරවැසි යුතුකම ඉටු කිරීමට පෙළ ගැසීම කවර බලයකට වුවද සුවපත් කළ නොහැකි වූ අපගේ ආධ්‍යාත්මික බලය පිළිබිඹු කිරීමකි. අවශ්‍ය වන්නේ මෙම දැහැමි පරිසරය අඛණ්ඩව පවත්වාගෙන යාමය. එය එසේ වුවහොත් ධර්මද්වීපය නමැති ආඩම්බර කිරුළ හිස දරන්නට ලක්මාතාව යළිත් වාසනාවන්ත වනු ඒකාන්ත ය.
(***)