උතුම් පුර පසළොස්වක පොහොය අද උදාවේ. දිග් විජය ධර්ම විජය බවට පරිවර්තනය කළ දම්සෝ නිරිඳුන්ගේ පුත්‍රයා වූ අනුබුදු මිහිඳු මහ රහතන්වහන්සේ ධර්මදූත සේවයට එක්වෙමින් ලොව්තුරා බුදු රජාණන්වහන්සේගේ පින්සිරිබර බුදු මුව කමලින් ගලාගිය උතුම් ධර්මය රැගෙන මෙරටට වැඩම කළේ අද වැනි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේදීය. ලෝක සිතියමේ අබැටක් තරමේ වුවද පුංචි දූපතක් වූ අප රට විශ්වයේ මුදුනටම ඔසොවා තැබූ මහා ආගමික විප්ලවය සහ සංස්කෘතික පරිවර්තනය පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයෙන් අරුත් ගැන්වෙයි. එහෙයින් ලක්වාසී සකල ජනී ජනයාගේ ශ්‍රේෂ්ඨතම හා පූජනීය ආගමික, සංස්කෘතික හා ජාතික මහෝත්සවය වන්නේද පොසොන් පුර පසළොස්වක පොහොය වේ. ඒ මහා ආගමික සංස්කෘතික හා ජාතික මහෝත්සවය වෙනුවෙන් රොද බඳින සකල ජනී ජනයා සමග ලංකාදීපයද අපමණ සැදැහැ සිතෙන් මෙසේ එක්වේ.
ඉතිහාසයේ අතිශයින්ම කටුක පරිච්ඡේදයක් අද උදාවී තිබේ. මුළුමහත් සමාජයේම පැවැත්ම බරපතළ දෙදරුම්කෑමකට ලක්වී තිබේ. ආර්ථික අර්බුදය බරපතළ දේශපාලන අර්බුදයක් නිමැවීමටත්, එමගින් තියුණු සමාජ ආර්ථිකයක් හා කම්පනයක් ජනිත කරවීමටත් හේතු වී තිබේ. පිළිගත් දියුණු රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත් හා රාජ්‍යකරණය පසෙකලා ‘හිතු මනාපෙ’ තීන්දු තීරණ ගෙන ක්‍රියාත්මක කිරීමට යාමේ ප්‍රතිඵල ලෙස පුරවැසියාද ඉබාගාතේ යාමට පටන් ගෙන ඇත. එම පුරවැසියා නීතිය අතට ගෙන ක්‍රියා කිරීමට දැඩි රුචිකත්වයක් දක්වනු පෙනේ. බුදු දහමේ ආභාසයෙන් වගා කරගත් ආත්ම ශික්ෂණය පුරවැසියා වෙතින් පලා යමින් තිබේ. මහ පොළොව නුහුලන අපරාධවලට හේතුව ද එයයි.
මුළුමහත් සමාජයම එකාවන්ව එකට එක්වී සාමූහික ප්‍රයත්නයක් මගින් පළවාහැරිය යුතු අන්ධකාරයක් තනි තනි ක්‍රියාකාරීත්වයක් මගින් පළවාහැරිය නොහැකි බව වටහා ගැනීම මේ මොහොතේ අතිශයින්ම වැදගත්ය. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට දායාද කළ උතුම් ධර්මයේ එක් තැනක මිසදිටු පුද්ගලයා සරුදෙය නිසරු ලෙසත් නිසරු දෙය සරු ලෙසත් දකින බව දැක්වේ. සමාජයක බහුතරය එබන්දන් බවට පත්වූ විට බුදු දහමේ දැක්වෙන නරකාදිය එතැන නිර්මාණය වේ. අවශ්‍ය වන්නේ සරු දෙය සරු ලෙසත් නිසරු දෙය නිසරු ලෙසත් දකින පළල් හා විසල් මනසකින් හෙබි මිනිසුන්ය. එබඳු මිනිසුන්ට පළවාහැරිය නොහැකි අන්ධකාරයක් නැත.
බුදු දහම සමාජයේ පුද්ගලයන් කොටස් හතරකට බෙදා දක්වා ඇත. ඒ අනුව එක් පිරිසක් අඳුරෙන් ආලෝකයට යති. තව පිරිසක් ආලෝකයෙන් ආලෝකයට යති. තවත් පිරිසක් ආලෝකයෙන් අන්ධකාරයට යති. ඊළඟ පිරිස අන්ධකාරයෙන් අන්ධකාරයට යති. මෙයින් පළමුව හා දෙවැනුව දක්වන ලද පිරිස් පෞද්ගලිකව තමන්ගේ ජීවිතය පාරිශුද්ධත්වයට පත්කර ගනිමින් සමාජ ප්‍රගමනයට දායක වෙති. දෙවැනි හා සිව්වැනි පිරිස් තම පෞද්ගලික ජීවිතයද විනාශයට හා අගතියට පත්කර ගනිමින් පොදු සමාජ පැවැත්මට මාරාන්තික අභියෝගයක් වෙති. බුදු දහමේ දැක්වෙන්නේ පළමු හා දෙවැනි වර්ගයේ මිනිසුන් බවට පත්විය යුතු බවය.
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ අපට දායාද කළ උතුම් බුදු දහම පරලොව ජීවිතය ඉලක්ක කරගත් දහමක් පමණක් නොවේ. එය මෙලොව පරලොව ජීවිත සුගතිය හා ප්‍රගතිය අරමුණු කරගත් අවසාන නිෂ්ඨාව වන නිර්වාණය පදනම් කරගත් දහමකි. බුදු දහම තුළ අර්ථවත් ජීවිතයක් මෙන්ම සුරක්ෂිත සමාජයක් නිර්මාණය කිරීමට අවැසි ඉතාම දියුණු හා විද්‍යාත්මක මගපෙන්වීමක් තිබේ. එමෙන්ම ගැඹුරු අර්ථික විද්‍යාවක්, දේශපාලන දර්ශනයක් මෙන්ම සමාජ විද්‍යාවක්ද අන්තර්ගතය. බුදු දහම ගැඹුරින් අධ්‍යයනය කර ඒවා තම ජීවිත සරසන සැරසිලි බවට පත්කර ගත යුතුය.
බුදු දහම මිනිසා යනුවෙන් හඳුන්වනු ලබන්නේ මනස උසස් බවට පත් කළ හැකි සත්වයා ලෙසය. එම අරුමැසි හැකියාව පවතින්නේද මිනිසාටම පමණි. මිනිස් මනසේ ස්වභාවය වන්නේ වරදට පාපයට වෙහෙසකින් තොරව නැඹුරුවීමය. එමෙන්ම වැරැදි කිරීමෙන් මෙන්ම පාපයෙහි ඇලීගැලී වාසය කිරීමෙන් මනස සතුටට පත්වේ. අද සමාජයට සිදුව තිබෙන්නේ ද එයයි. වර්තමානය දෙස බලනවිට නිර්මාණය වී ඇති විනාශයම විනෝදයට පත්කර ගත් පිරිස් බහුල බව පැහැදිලිය.
රටට ඇවැසි වන්නේ ආධ්‍යාත්මයක් සහිත මිනිසුන්ය. බුදු දහම යනු එබඳු ආධ්‍යාත්මයක් ගොඩනගා ගැනීමට අවැසි හොඳම මාර්ග සිතියම සහිත දහමකි. පොසොන් උළෙල උත්කර්ෂයෙන් සමරා පසුදින සිට පරණ පුරුදු ජීවිතයට ගමන් කරන්නේනම් එයින් ප්‍රයෝජනයක් නැත. පළමුව ඔබ හොඳ බෞද්ධයකු විය යුතුය. මනුෂ්‍යත්වය ඔබ තුළ පූදිනු ඇත්තේ එවිටය.
(***)