වාරියපොළ ගොවිජන සේවා මධ්‍යස්ථානයට ගෙන ආ පොල් පොහොර මිටි 47ක් එම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන නිලධාරියාගේ පෞද්ගලික වෙළෙඳසැලට වංචනිකව රැගෙන ගොස් එම පොහොර වැඩි මිලට ගොවීන්ට විකිණී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම ගොවිජන සංවර්ධන නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. ගොවිජන මධ්‍යස්ථානයෙන් ගොවීන්ට රුපියල් 1,500ක මුදලට අලෙවි කරන පොහොර මිටියක් මෙම ගොවිජන සංවර්ධන නිලධාරියා රුපියල් 2,500 – 4,000ක මිල ගණන්වලට අලෙවි කරන බවද පොලිසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන් බවද අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
‘සොරකම’ ජාතික ක්‍රීඩාවක්ව ප්‍රගුණ කරන්නේදැයි සැක සිතෙන තරමට මුළු මහත් සමාජය පුරාම සොරකම පැතිර ඇති බව පෙනෙන්නට තිබේ. ඒ සම්බන්ධ උදාහරණ රටේ උත්තරීතරම ආයතනය යැයි විරුදාවලි ලත් පාර්ලිමේන්තුවේ සිට ගමේ ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් සතොසෙන් ඇතුළු බොහෝ ස්ථානවලින් අසන්නට දකින්නට ලැබේ. එමෙන්ම ප්‍රබුද්ධ දෑහිතකාමී ජනී ජනයාගෙන් සොරකමට එරෙහි දැවැන්ත විරෝධයක්, පිළිකුලක් ප්‍රදර්ශනය වුවද සොරුන්ට ඒ සම්බන්ධයෙන් වගේ වගක් නැත. එහෙයින්ම සොරු මහා දවාලේත් මහා රාත්‍රියේත් සොරකම් කරති. වාරියපොළ ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් වාර්තා වූයේ ඉන් එක් සිදුවීමක් පමණි.
රජයේ සහනාධාරය යටතේ රුපියල් 1,500කට ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් ගොවීන් සඳහා අලෙවි කිරීමට ඇති මෙම පොහොර වාරියපොළ ගොවිජන සංවර්ධන නිලධාරියා, ගොවීන් මිලදී ගත් විදියට ව්‍යාජ නම් ගම් යොදා රුපියල් 1,500 ගණනේ මිලදී ගෙන තම පෞද්ගලික වෙළෙඳසැලෙන් වැඩි මිලට විකුණා ඇත. පොහොර හිඟයක් ඇති වූ විට මිල කීය වුවත් පොහොර මිලදී ගැනීමට ගොවියා පෙළඹේ. තමන්ට ලැබුණු පොහොර සහනාධාරයත් වංචාකර ඇතැයි ගොවියා දන්නේ නම් ඔවුන් ගොවිකම අත හරිනු ඇත.
පොහොර නැතැයි පවසමින් ගොවියන් මහ මග උද්ඝෝෂණය කරන අවස්ථා ඕනෑ තරම් තිබේ. එකම හේතුව නොවූවත් පොහොර හිඟයට මෙවැනි සොරකම්ද ප්‍රධාන හේතුවක් බව පැහැදිලිය. අවසානයේදී ගොවියා පොහොර ලබා ගැනීමට තමන් වෙත පැමිණෙන බව හොරා දනී. ‘‘සොරකම’’ ගනුදෙනුවක් බවට පත්වන්නේ එසේය.
රජයේ සේවකයා නියත වශයෙන්ම නීතිගරුක විය යුතුය. යුක්තිගරුක විය යුතුය. මනා විනයකින් පසුවිය යුතුය. සත්‍යවාදී විය යුතුය. ශිෂ්ට සම්පන්න විය යුතුය. රජයේ සේවකයාට අදාළව අප සමාජය තුළ නිර්මාණය වී ඇති අභිමානවත් රූපකාය එසේය. එබඳු රජයේ සේවකයෝ ඉතිහාසයේ සිටියහ. වර්තමානයේද සිටිති. එහෙත් අතරින් පතර මතුවන සොරුන් තක්කඩියන් නිසා එම රූපකාය දුර්වර්ණ වී යයි. සමස්ත රාජ්‍ය සේවය සම්බන්ධයෙන් පවතින විශ්වාසය විසුණු කර දැමීමට මෙබඳු එක් සිදුවීමක් වුවද ප්‍රමාණවත්ය.
විලිබිය යනු මිනිසාට ආවේණික ධර්මතාවකි. විලිබිය හෙවත් ලජ්ජාව යන න්‍යාය උපකාර වන්නේ වැරැදි නොකර සිටීමේ පෞරුෂය නිර්මාණය කර ගැනීමටය. සොරකම් කිරීමට, වංචාවක් කිරීමට ලජ්ජාවක් හා භයක් වේ නම් කිසිවෙක් හෝ එයට නොපෙළඹෙති. මේ මහා ගුණය රාජ්‍ය සේවකයා තුළ ඉහළින්ම ප්‍රදර්ශනය වේ. එහෙත් අවාසනාවකට එම ගුණය තිබේදැයි රජයේ සේවයට බඳවා ගැනීමේදී පරීක්ෂාවට ලක් නොවේ. එබඳු පරීක්ෂාවකට ලක් වන්නේ නම් වාරියපොළ ගොවිජන සංවර්ධන නිලධාරියාට රාජ්‍ය සේවයට එක්වීමේ වරම අහිමි වන්නට ඉඩ තිබිණි.
ජනයාගේ සහනාධාරයත් ගසා කන්නේ නම් එබඳු පාපතරයකුගේ මනස කෙතරම් දිළිඳුද යන්න හඳුනා ගැනීම අසීරු නැත. මහ පොළොව සමඟ හැපෙමින් හා දහසක් දුෂ්කරතා මැද ගොවිතැනෙහි යෙදෙමින් වගාවන් හි නියැළෙමින් තම දරුපවුලත් රක්ෂා කර ගනිමින් රටේ ආර්ථිකයටත් දායක වෙමින් පුරවැසි වගකීම් ඉටු කරන අහිංසක ගොවි ජනයාගේ පොහොර සහනාධාරයත් ගසා කන බවට පළවන ප්‍රවෘත්ති අවංක පුරවැසියාගේ ළය විනිවිද යන කිණිසි තුඩක් බවට පත්විය යුතුය. එහෙයින් මෙබඳු චෞර කප්පිත්තන්ට කිසිදු සමාවක් හිමිවිය යුතු නැත.
(***)