පෞද්ගලික බසයට වද දෙන කප්පම්කරුවෝ



කොරෝනා වසංගතය හේතුවෙන් පෞද්ගලික බස් කර්මාන්තය කඩාවැටී තිබියදීත් මාසයකට රුපියල් කෝටි 20ක පමණ මුදලක් කප්පම්කරුවන්ට ගෙවීමට සිදුවී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. දිවයින පුරා තිබෙන පෞද්ගලික බස් රථ 20,000කින් පමණ නිල හා නොනිල ආකාරයට කප්පම්කරුවන් මෙලෙස කප්පම් මුදල් අය කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළ බව එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

පෞද්ගලික බස් රථ සේවාව ව්‍යාපාරයකි. ඒ සම්බන්ධයෙන් විවාදයක් නැත. ව්‍යාපාරික ප්‍රධාන අරමුණ ලාභ ලැබීමය. පෞද්ගලික බස් කර්මාන්තයේ අරමුණ ද එයමය. එහෙත් එසේ ලාභ ලැබීම පහසු කටයුත්තක් නොවේ. මගී ජනතාව බහුලව ගැවැසෙන්නේ උදය වරුවේ සහ හවස් වරුවේය. අනෙක් වේලාවට ධාවනය කෙරෙන බසයට ගමන් වාරයට අයත් වියදම ද සොයා ගැනීම දුෂ්කරය. බස් රථයේ අමතර කොටස්වල වියදම ද ඉතා ඉහළය. ඒ අතරවාරයේ දඩ කොළයක් ලැබීම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමකි. ලීසිං වාරිකය ගෙවා දමන්නේ කෙසේ දැයි යන්න බස් හිමියා අතැර නොයන සිතිවිල්ලකි.

කරුණු කාරණා එපරිදි වනවිට කප්පම් ගෙවීමට සිදුවීම ඔළුව ඉස්සීමට නොහැකිම අවස්ථාවකි. මෙම කප්පම් ගැනීම සිදුවන්නේ නිල හා නොනිල ආකාරයට බව ගැමුණු විජේරත්න මහතා පවසයි. නිල ආකාරය වන්නේ “රනර්”ට ගෙවන ගාණ වේ. “රනර්” එම මුදල ගන්නේ මගියා බස් රථයට නැංවීමෙනි. “රනර්” කෙනකු සිටිය ද නොසිටිය ද මගියා බස් රථය සොයාගෙන පැමිණ එයට ගොඩවේ. එහෙත් “රනර්” සේවාවක් සපයා මුදලක් අතට ගනී.

මේ කියන “රනර්” සුළු චරිතයක් නොවේ. සෑම නගරයකම බස් ධාවනය ආරම්භ කෙරෙන ස්ථානයට අයිතිකරුවෙක් සිටී. ඔහු ඇතැම් විට ප්‍රදේශයේ දේශපාලන බලවතා විය හැකිය. පළාතේ දේශපාලන හෙංචයියකු විය හැකිය. මැරයකු විය හැකිය. සයිකල් චේන් එකෙන් ඩප්පියෙන් ගනුදෙනු බේරා ගන්නා ත්‍රාඩයකු විය හැකිය. ටී පනස් හයෙන් ගනුදෙනු අහවර කරගන්නා පාතාලයකු විය හැකිය. “රනර්” යනු ඒ බලයේ සජීවී සංකේතය වේ. එහෙයින් “රනර්” අභිබවා යාමට නොහැකිය. ඔහු ඉල්ලන ගණන දීමට සිදුවන්නේ එහෙයිනි.

කප්පම් මුදල නොගෙවීම මත බස් හිමිකරුවන්ට අනේකවිධ වද බන්ධනවලට ලක්වීමට සිදුවේ. ඇතැම් විට ගමන් වාර ආරම්භ කිරීමට වේලාව ලබාගැනීම දුෂ්කර විය හැකිය. බස් රථය නතර කර තැබීමට ස්ථානයක් අහිමි වීමට ඉඩ තිබේ. බස් රථයට සේවකයන් ​ෙසායා ගැනීමට දුෂ්කර වේ. එබඳු පරිසරයක බස් හිමිකරුට සිදුවන්නේ බස් රථය නිවෙසේ ගාල් කර තබා ගැනීමටය.

දුර ගමන් සේවා බස් රථ මුහුණ දෙන අනුවේදනීය ඉරණමක් ද තිබේ. අතරමග නගරයක බස් නැවැතුමේ බස් රථය නතර කිරීමට නම් ඉල්ලන කප්පම් ගෙවීමට සිදුවේ. අවම තරමින් බසයෙන් බැසීමට සිටින මගියා වෙනුවෙන් බස් රථය නතර කිරීමට සිදුවන්නේ ඉල්ලන කප්පම ගෙවන්නේ නම් පමණි. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පවසන්නේ, එසේ මාසයකට ගෙවන කප්පම් මුදල රුපියල් කෝටි 20ක් පමණ වන බවය.

බස් කර්මාන්තයට අදාළව පවතින මෙම කප්පම් මාෆියාව නොදන්නා අයකු සිටිය නොහැක. විශේෂයෙන්ම පොලිසිය මෙය දනී. එහෙත් කළු ගල්වල ඔළුව හප්පා ගැනීමේ ආදීනව දන්නා පොලිස් නිලධාරීහු ද කිසිවක් නොදන්නා ඉරියව්වෙන් පසුවෙති. කප්පම් ඉල්ලන බවට පැමිණිලි නොලැබීම ද පොලිසියේ නිහඬ බවට හේතුවකි. පොලිසියට පැමිණිලි නොකරන්නේ ද කප්පම් මාෆියාවට ඇති බිය නිසාය.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින්නේ මත්ද්‍රව්‍ය මාෆියාවට එරෙහිව දියත් කර ඇති මෙහෙයුම මෙන් මෙහෙයුමක් දියත් කර කප්පම් මාෆියාව ද තුරන් කර දෙන ලෙසය. සැබැවින්ම මෙම කප්පම් මාෆියාවේ සැහැසි ග්‍රහණයෙන් මෙම බස් කර්මාන්තය මුදාගත යුතුය.

රටකට තිබිය යුත්තේ එක නීතියකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දර්ශනය හා ප්‍රතිපත්තිය වී තිබෙන්නේ ද “එක රටක්, එක නීතියක්” යන්නය. එය එසේ නම් ප්‍රාදේශීය චණ්ඩින්ට අධිරාජ්‍ය ගොඩනගා ගනිමින් කප්පම් ගනිමින් කටයුතු කිරීමට ඉඩ දිය යුතු නැත. විශේෂයෙන්ම කොරෝනා මාරක වසංගතයෙන් පෞද්ගලික බස් රථ කර්මාන්තය වළ පල්ලට ඇද වැටුණේය. ඒ වැටුණු වැටිල්ලෙන් තවම නැගිට නැත. කවදා නැගී සිටින්නට හැකි වේ දැයි සහතිකයක් ද නැත. එහෙත් මෙම කර්මාන්තය රැකගත යුතුය. කර්මාන්තය රැක ගැනීමට නම් කර්මාන්තයට එදිරිව ඇති අණවින කොඩිවින හදි හූනියම් කපා දැමිය යුතුය. දැන් ආතුරයා සිටී. ආතුරයා බලා සිටින්නේ යකැදුරා තමන්ට පිහිට වනු ඇත යනුවෙනි. ඒ බලාපොරොත්තුව ඉටුවනු ඇතැයි යන්න අපගේ ද විශ්වාසය වේ.

(***)