බඩගින්නේ සිටින ජනතාවට මුලින්ම සහන දෙන්න


කුසගින්නේ සිටින ජනතාවට දහම් දෙසන්නට එපා යැයි ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. ඔවුනගේ කුසගිනි නිවා දැමීමෙන් පසු දෙසන දහමක් දේශනා කළ යුතු යැයි ද එම බුදු වදනේ සඳහන්ය. දැනට අප රට තුළ දිනපතා අසන්නට දකින්නට ලැබෙන ආවේගශීලී කතා බස්වලින් පෙනෙන්නේ ජනතාවගේ නියෝජිතයන් ලෙස පත්ව සිටින පක්ෂ විපක්ෂ දේශපාලන භවතුන් සියලු‍ දෙනාම ජනතා ප්‍රශ්න විසඳීම වෙනුවට තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට යාමෙන් සතර කොන පටලවාගෙන ඇති බවය.

රටේ කුඩා දරුවකුගෙන් විමසුවත් සමාජයට බලපාන සංකීර්ණ ප්‍රශ්න පත්‍රය ගැන කාට කාටත් දැන කියාගන්නට පිළිවන. ජනතාවට දරාගත නොහැකි ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල සහ හිඟය ඉන් ප්‍රධාන ප්‍රශ්නයකි. බෙහෙත් ඇතුළු ජන ජීවිතය රැකගන්නට අවශ්‍ය ද්‍රව්‍ය පවා හිඟය නිසා කඩ සාප්පුවලින් අතුරුදන්ව ඇත. බඩු මිල ඉහළ යන වේගය හෙවත් උද්ධමනය අධි උද්ධමනයක් බවට පත්ව තිබේ. ලෝකයේ උද්ධමනයෙන් පොහොසත්ම රටවල් තුන අතර ප්‍රමුඛස්ථානයක් අප රටට හිමිව තිබීම හටගෙන ඇති ඛේදවාචකයේ තරම අපට පසක් කර දෙයි. ගෑස් සිලින්ඩරය රුපියල් දෙදහසකින් පමණ මිල ඉහළ යද්දී විදුලිය බිල සියයට 50ත් සියයට සියයත් අතර ගණනකින් ඉහළ දමන්නට යෝජනා කර ඇත. ඒ අතර සෑම අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකම මිලට බලපාන වක්‍ර බදු ඉහළ දමන්නටත් විශේෂයෙන් වැට් බද්ද වැඩි කිරීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපදෙස් දුන් බව වාර්තා වෙයි. මේ සියල්ල ඉවසා දරාගෙන ජනතාව ජීවන බර උසුලා සිටිය යුතු බව ආණ්ඩුව දේශනා කරයි. වෙන කළ හැකි කිසිවක් නොමැති අසරණ ජනතාව කෝපයෙන් සහ ශෝකයෙන් සියල්ල ඉවසා සිටිති. ඒත් ළඟදීම ඔවුන්ගේ රතු කට්ට පැනීම නියත බව පමණක් සඳහන් කළ යුතුය.

පීඩිත සමාජය අගාධයටම තල්ලු‍ කළ මේ සියලු‍ හුටපට මධ්‍යයේ රටේ නායක කාරකාදීන් යැයි කියාගන්නා උදවිය අන්තර්වාර පාලනය සහ ව්‍යවස්ථා සංශෝධනයට අමතරව හදිසි මහ මැතිවරණයක් ගැන ද වාද විවාද කරමින් දේශපාලන කෝලහලවල පැටලී සිටිති. ජනතාව තමන්ගේ ආර්ථික බර සැහැල්ලු‍ කරන්න යැයි දස අතේ ආයාචනා කරද්දී දේශපාලන පුගුලන් ඊට විසඳුම් දෙන්නේ ව්‍යවස්ථා සංශෝධනයෙන් අන්තර්වාර පාලනයෙන් හෝ මහ මැතිවරණ කතාවලිනි.

රටේ යහපත් දේශපාලන සංස්කෘතියක් හා සම්ප්‍රදායක් තිබිය යුතුය යන කරුණ අවිවාදිතය. එහෙත් ජනතාව දැවෙන ප්‍රශ්නවල රස්නයෙන් පිළිස්සෙද් දී ව්‍යවස්ථා කතාවට හෝ අන්තර්වාර පාලන කතාවලට පෙර ජීවන බර සැහැල්ලු‍ කළ යුතු යැයි කරන ඉල්ලීම වරදක් වන්නේ කෙසේද? රටට අලු‍ත් ආණ්ඩුවක් අවශ්‍ය යැයි ජනතාව යෝජනා කරන්නේ නම් එය ව්‍යවස්ථානුකූලව සිදු කිරීමේ කිසිදු වරදක් නැත. එහෙත් එම ආණ්ඩුව බලය ලබාගත් පසු විසඳන්නට තිබෙන ප්‍රශ්න පත්‍රයට අදාළ විසඳුම් කල් තබා ජනතාවට ප්‍රකාශ කර දේශපාලන පෙරළියක් කිරීමට ක්‍රියා කරන්නේ නම් එය වඩාත් ඵලදායකය. දැනට ලැබෙන ඉන්දීය ණය සහ සහනාධාර ලබන ජූනි මාසය පමණ වනවිට සමාප්ත වීමට නියමිතය. ඒ සමඟ ලෝක බැංකුව රටේ දිළිඳු ජනතාවට සහන සැලසීම පිණිස ආරක්ෂක දැලක් නිර්මාණයට කඩිනම් මූල්‍ය ආධාරයක් සූදානම් කර තිබේ. ජපානය සහ චීනය ද ශ්‍රී ලංකාවට උදව් දෙන බව කියා ඇත. එහෙත් මේ විදේශ ණය සහ ආධාර මතම අපට සැමදාම යැපෙන්නට පිළිවන්ද? ස්වාධීන අදීන ජාතියක් ලෙස කලක් නිසි මඟ ගිය රට නැවතත් යථා තත්ත්වයට පත් කිරීමට කළ යුත්තේ කුමක්දැයි කියා මඟ පෙන්වීමට ආණ්ඩුවේ හෝ විපක්ෂයේ කිසිදු දේශපාලන නායකයෙක් ක්‍රියා මාර්ගයක් ගෙන තිබේද? නැත. ඔවුන් සියලු‍ දෙනා සිටින්නේ නිමා නොවන බල පොරයකය. බහුතරය සෙවීමේ තරගයක් ද ක්‍රියාත්මකය. මැතිසබයේ බහුතරය අප සතු යැයි පිරිසක් කියද්දී බහුතරය තමන් සතු යැයි තවත් කණ්ඩායමක් මොර දෙති. මේ බහුතර සුළුතර කතා මෙන්ම ව්‍යවස්ථා කතාද දැන් ජනතාවට දිර වන්නේ නැත. ජනතාව සිටින්නේ නහය ළඟටම එරී ගිය දේශපාලන මඩ ගොහොරුවකය. අත්දැකීම් බහුල ශ්‍රී ලාංකික සමාජය දේශපාලනඥයන්ගේ මෙම කතා විශ්වාස නොකරන්නේ ඔවුන් නිදහසින් පසු ගත වූ වසර 74ක කාලය තුළ ගැසූ ‘ගේම්’ හොඳින්ම දන්නා නිසාය.

එම නිසා සියල්ලන්ගේ යුතුකම, වගකීම සහ කාර්යභාරය විය යුත්තේ හටගෙන ඇති වහා විසඳිය යුතු දැවෙන ජනතා ප්‍රශ්නවලට විසඳුම් සැපයීමයි. අනතුරුව ව්‍යවස්ථා සංශෝධනය, බලය බෙදීම, මහ මැතිවරණය ආදී සෙසු මාතෘකාවලට පිවිසිය හැකිය. අපගේ මෙම මත ප්‍රකාශනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය හෝ ඊට අනුශංගික සෙසු කරුණු නොවැදගත් යැයි හෑල්ලු‍ කිරීමට අදහස් නොකරමු. අප සඳහන් කරන්නේ රටේ දේශපාලනඥයන් බල පොරය මදකට අත්හිටුවා ජනතාවගේ දැවෙන ජනතා ප්‍රශ්න පත්‍රයේ ප්‍රමුඛතාවලට ආමන්ත්‍රණය කළ යුතු බවය. සෙසු සියලු‍ මතවාද මේ මහා දරිද්‍රතාව හා පීඩනය හමුවේ ලඝු වූ කාරණාය. අද වනවිට ජනතාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය උදෙසා පෝලිම් ගැසීම සම්ප්‍රදායක් බවට පත් කරගෙන සිටිති. සබන් සහ ගිනිපෙට්ටි මිලදී ගැනීම සඳහා ද පෝලිම් නිර්මාණය වීම ඊට කදිම උදාහරණයකි. මෙබඳු අලකලංචි බහුල සමාජයක ඉවසීමේ සීමාව සමඟ දේශපාලනඥයන් දාදු ක්‍රීඩා නොකළ යුතුය.

හටගෙන ඇති ප්‍රශ්නවලට එකම විසඳුම පවත්නා ආණ්ඩුව හෝ ක්‍රමය වෙනස් කිරීම නම් යට කී ලෙස එය කළ යුත්තේ රටේ ව්‍යවස්ථාවට සහ පොදු ව්‍යවහාර නීතියට අනුකූලවය. එසේ නොමැතිව නීතිය අභිබවා යන්නට ගියහොත් එතැන බලාත්මක වන්නේ කැලෑ නීතියයි. කැලෑ නීති සක්‍රිය වූ විට සැබැවින්ම සිදු වන්නේ දුබලයා අභිබවා ප්‍රබලයා නැගී සිටීමය. එය සාධාරණකමේ ධර්මය නසා දැමීමකි. තිබෙන අර්බුදය තවත් ව්‍යසනයක් කරා තල්ලු‍ කිරීමට එවැන්නක් හේතු විය හැකිය. එම නිසා බලය ඇති අයත් බලය නැති අයත් සියලු‍ දෙනා යුක්ති සහගතව සහ පරෙස්සම් සහගතව සැබෑ ජනතා ප්‍රශ්නවලට ප්‍රමුඛ අවධානය ලබා දී දෙවනුව සෙසු දේශපාලන ගනුදෙනු බේරා ගැනීම කළ යුතුය. යුගයේ අවශ්‍යතාව එයයි.

 

(***)