ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් ඉතා වැදගත් වන නඩු තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ප්‍රකාශයට පත් කළේය. එහි සඳහන් වූයේ ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයක් තිබිය දී සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මීට වසර 06කට පෙර කළ ඉල්ලීමකට අනුමැතිය නොදීමෙන් ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය බරපතළ අන්දමින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවය.
මේ තත්ත්වය පිළිබඳ විමර්ශනය කර ඊට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග වහාම අධිකරණයට දැනුම් දිය යුතු බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය අමාත්‍යංශ ලේකම්වරයාට නියෝගයක් ලබා දුන්නේය.
අදාළ නඩුව පවරා තිබුණේ වව්නියා සෝලාපවර් ප්‍රයිවට් ලිමිටඩ් නමැති සමාගමක් මගිනි. එම සමාගමේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක වන්දියක් එම සමාගමට ගෙවීමට ද විදුලිබල මණ්ඩලයට නියම විය. එපමණක් නොව අදාළ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය අභිලාෂය ප්‍රකාශ කිරීමේ ලිපිය වහාම නිකුත් කිරීමට ද නියම කෙරිණි. අදාළ සම්පූර්ණ අලාභයම පෙත්සම්කාර සමාගමට ගෙවීමට නොහැකි වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ කනගාටුව ද පළකරනු ලැබීය.
මෙරට බලශක්තිය සම්බන්ධයෙන් අර්බුදයක් ඇතිවීමට තරමක දිගු ඉතිහාසයක් තිබේ. සංඛ්‍යා ලේඛන පිළිබඳ වාර්තා සලකා බැලුවහොත් 1996 වර්ෂය පමණ තෙක් මේ අතීතය විහිදී තිබේ. බලශක්තිය සම්බන්ධ අර්බුදයට බලපෑ හේතු ගණනාවක්ම තිබෙන අතර එයින් කොටසක් දේශපාලනයට සම්බන්ධය. සෙසු කොටසෙන් වැඩි ප්‍රමාණයකට වගකිවයුත්තේ නිලධාරීන් බව අපගේ වැටහීමය. එයට අමතරව මෙරට කාලගුණයේ බලපෑම ද හේතුවක් වශයෙන් දැක්විය හැකිය.
ඉහත සියලු කාරණා එක මිටට ගෙන සැලකීමේ දී කැපී පෙනෙන්නේ බලශක්ති අර්බුදයේ කේන්ද්‍රය බලශක්ති උත්පාදනය පිළිබඳ ගනු ලැබූ තීන්දු වටා භ්‍රමණය වන බවය. එකී ඇතැම් තීන්දු හේතුවෙන් බලශක්තිය උත්පාදනය සඳහා වන පිරිවැය ඉහළ ගියේය. 1996 පමණ වනතෙක් ලාබ ලබන අත්‍යාවශ්‍ය සේවා කර්මාන්තයක් වශයෙන් පවත්වාගෙන ගිය බලශක්ති උත්පාදනය ඉන්පසුව දැඩි ලෙස අලාභ ලබමින් පවත්වාගෙන යන කර්මාන්තයක් බවට පත්විය. බලශක්ති උත්පාදනයේ ප්‍රධාන ආයතනය වන ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) එතෙක් ලබමින් සිටි ලාභය දැඩි අලාභයක් දක්වා පරිවර්තනය වීමේ දී ඒ සඳහා පිළියම් යොදනු වෙනුවට සිදු වූයේ කෙසේ හෝ රටට විදුලිය සැපයීම අරමුණු කර ගනිමින් දැඩි ලෙස පාඩු ලබන ආයතනයක් හැටියට ලංවිමට කටයුතු කිරීමට ඉඩ හැරීමය. එවැනි තීන්දු ගැනීම් පිටුපස ක්‍රියාත්මක වූයේ දේශපාලන අවශ්‍යතා බව ප්‍රකට රහසකි.
ඇමැතිවරුන් කිහිප දෙනකු පමණක් අලුත් අදහස් ක්‍රියාත්මක කිරීමට වෙර දැරුවත් ඒ වනවිට මේ ක්ෂේත්‍රය තුළ අඬු විහිඳුවාගෙන තිබූ විවිධ බලවේග හේතුවෙන් ඒවා යටපත් වී ගියේය. ඉතිරි වූයේ දිගින් දිගටම පාඩු ලබන එහෙත් සුපිරි රාජ්‍ය ආයතනයක් බවට පත් වූ ලංවීමත් අධික මිලක් ගාස්තු වශයෙන් ගෙවීමට සිදු වූ පාරිභෝගික ජනතාවකුත් පමණි. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවට අදාළ සූර්ය බලශක්ති ව්‍යාපෘති ලංවිමට සම්බන්ධ වන්නේ මෙහිදීය.
බලශක්ති උත්පාදනයේ දී එක් විදුලිය ඒකකයක් නිපදවීමට වැය කෙරෙන මුදල දිගින් දිගටම ඉහළ යාම නිසා පාරිභෝගිකයා මත පැට වෙන බර අඩු කිරීමට නම් කළ යුතුව තිබුණේ දීර්ඝ කාලීන විකල්ප බලශක්ති ප්‍රභවයන් කෙරෙහි යොමුවීමය. ඒ සඳහා ඉදිරි සැලසුම් ආණ්ඩුවලට ඉදිරිපත් කිරීමේ වගකීම තිබුණේ ලංවිම නිලධාරීන් අතේය. එවැනි සැලසුම් නිලධාරීන් විසින් ඉදිරිපත් කර තිබූ බවත් ඒවායින් යම් ප්‍රමාණයක් සාර්ථක කර ගැනීමට හැකිව තිබෙන බවත් සත්‍යයකි. එහෙත් ඇතැම් දේශපාලනඥයන්ගේ දූෂිත සහ වංචනික ක්‍රියාවලට පාර කැපෙන තීන්දු තීරණ ගැනීමත් ඒවාට උඩගෙඩි දෙන නිලධාරීන් පිරිසක් බිහිවී සිටීමත් හේතුවෙන් විකල්ප බලශක්ති ව්‍යාපෘති ඉදිරියට ගියේ ඉතා සෙමිනි. වව්නියා සමාගමේ සැලසුම් වසර 06ක් තිස්සේ යට ගැසුණේ ඒ හේතුවෙනි.
ඒවා ක්‍රියාත්මක කිරීම් වළක්වන, ප්‍රමාද කරන සහ කකුලෙන් අදින විවිධ බලවේග ක්‍රියාත්මක විය. එසේ වූයේ පෞද්ගලික බලශක්ති උත්පාදකයන් හරහා මණ්ඩලයට වැඩි මිලට විදුලිය මිලදී ගෙන එය පාරිභෝගිකයාට අඩු මිලකට අලෙවි කිරීම ඇතැම් දූෂිත දේශපාලකයන්ටත් නිලධාරීන්ටත් මහා ධනයක් හම්බ කර ගැනීමේ මාර්ගයක් බවට පත්වීම නිසාය. මෙවැනි සිදුවීම් ඉතාම දැඩිව හෙළාදැකිය යුතුය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව මීට වගකිවයුතු නිලධාරීන් කවුදැයි ඉදිරියේ දී අනාවරණය වනු ඇතැයි ද ඔවුන්ට සුදුසු දඬුවම් ලැබෙනු ඇතැයි ද අපේක්ෂා කරමු.
(***)