ප්‍රවාහන සේවාව නගාසිටුවීමේ පළමු පියවර ලෙස මගීන්ට හොඳ මානසිකත්වකින් බස් රථයේ හෝ දුම්රියේ ගමන්කිරීමට හැකි පසුබිම සකසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දුන් බව මාධ්‍ය වාර්තා කළේය. ඉතා කුඩා අරම්භයකින් ලොකු වෙනසක් කළහැකි බවත් බස් රථය සෝදා පිරිසුදුකර මගීන්ට අසුන්ගෙන යාමට සැලසීම හෙටම පටන්ගන්නා ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන් බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන්ය.
ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති පරිදිම ඉතා කුඩා ආරම්භයකින් ලොකු වෙනසක් කළ හැකිය. ඉතා කුඩා වෙනසකින් ලොකු ආකල්පමය වෙනසක් කළ හැකිය. එය ආරම්භ කිරීමට වඩාත් සුදුසුම ස්ථානය බස්රිය හා දුම්රිය වේ.
ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන්ම පරමාධිපත්‍යයේ බලය හිමිවී ඇත්තේ ජනතාවටය. සියලු බල අධිකාරින් අභිබවා මුදුනත රැඳී සිටින්නේ ජනතාවය. ව්‍යවස්ථාවේ වගන්ති හරහා පොදු මහ ජනතාවට සාඩම්බර පදක්කම් පැළඳුවද මහජනයා විඳින දුක දන්නේද මහ ජනයාමය. එයට හොඳ උදාහරණ ලෙස මෙරට බස් රථ සේවාව හා දුම්රිය සේවාව හැඳින්විය හැකිය.
රටක අංක එක බවට මාර්ග පද්ධතිය සලකන්නේ නම් රටක අංක දෙක බවට පත්විය යුත්තේ පොදු ප්‍රවාහන සේවාවය. ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන මුරගල් බවට මේවා පත්ව තිබේ. පොදු ප්‍රවාහනය බිඳවැටී ජරාජීර්ණ වී තිබේ නම් එයම රටේ ආර්ථික පරිහානියට ප්‍රධාන සාධකය වේ. මන්ද යත් රටේ ආර්ථිකයේ නිෂ්පාදනය ජනතාව වන හෙයිනි. ඔවුන්ට යහපත් කායික මානසික සුවයක් අවශ්‍ය බව ඒකාන්ත සත්‍යයකි.
නිවෙසින් පිටවන ජනයා රැකියා ස්ථානයට යති. ඔවුන් යන්නේ රැකියාවට අදාළ වගකීම් ඉටුකිරීමටය. ඒ සඳහා යහපත් මනසක් තිබිය යුතුය. එහෙත් සාඩින් පැටෙව්වාක් මෙන් සෙනඟ පුරවන ලද බස් රථයේත්, දුම්රියේත් තෙරපී මිරිකී චප්ප වී යන මිනිසාට එවැනි යහපත් මනසක් ඇතිකර ගැනීම පහසු නැත. පිළිවෙළට ඇඳ පැළඳ බස්රියට දුම්රියට ගොඩවන මිනිසාට රැකියා ස්ථානයට යාමට සිදුවන්නේ වැරහැලි බවට පත්වූ ඇඳුමෙන්ය. දිනපතා දුම්රියෙන්, බස්රියෙන් රැකියාවට යන එන ජනයාට මේවා අමුතු අත්දැකීම් නොවේ.
ඇතැම් බස්රථවල වීදුරු කවුළු වැසිය හැකි නොවේ. වැසි දිනට බස් රිය තුළම නා ගැනීමේ අවස්ථාව ජනතාවට හිමිවේ. ඇතැම් දුම්රිය මැදිරිවල වහළයේ හිඩැස් අතරින් අහස පෙනේ. වැසි දිනට එම දුම්රිය මැදිරියේ තෙරපෙමින් යන ජනයාට අත්වන ඉරණම අමුතුවෙන් කිවයුතු නොවේ. ඇතැම් දුම්රියවල ඇති වැසිකිළියෙන් නැගෙන දුර්ගන්ධයෙන් මුළු දුම්රියම පිරී පවතී. මෙවන් පොදු ප්‍රවාහන සේවාවකින් සිදුවන්නේ මනුෂ්‍ය ගරුත්වයට අයත් අන්තිම බිංදුවද කෙලෙසී යාමය.
මහජනයාගේ ඡන්දයෙන් දියවන්නාව තරණය කර මැති ඇමැති පුටුවල වාඩිවූ ගරු කටයුතු මහජන නියෝජිතයෝ ආරක්ෂක රථ, පරිවාර රථ පිරිවරා ගෙන මහා මාර්ග දෙවනත් කරමින් අධි සුඛෝපභෝගී වාහනවල යති. එය එසේ වුවද බස් රථයේ පුවරුවේ එල්ලී ගොස් ලයිට් කණුවල, පාලම් බැමිවල, බෝක්කුවල වැදී "යන්නම්" කියාවත් කියාගන්න අවසර නොමැතිව නොඑන ගමන් යාමට සිදුවීමේ ඉරණම ජනතාවට බාර ගැනීමට සිදුවේ.
කරුණු කාරණා එපරිදිවන විට මහජනයා කෙතරම් අතෘප්තිකර මනසකින් ජීවත්වන්නේද යන්න වටහාගැනීම අසීරු නැත. මෙම අතෘප්තිකර මනස ඊළඟට මොළවන්නේ කෝපයයි. කෝපය පසුපසින් ඊළඟට එන්නේ වෛරයයි. උපන් බිමට ආදරය කරන්නැයි කොතෙක් කීවද මව්බිමට ගරහන මනසක් නිර්මාණය වන්නේ සහේතුකව නොවේ. එබඳු මනසක් නිර්මාණය වීම හෝ නිර්මාණය කර ගැනීම කිසි ලෙසකින් හෝ සාධාරණීකරණය කළ නොහැකි වුවද එයට බලපාන සාධක අතර ප්‍රවාහනයට අදාළව ඇති සාධක බැහැර කළ නොහැකිය.
මෙරට මගී ප්‍රවාහන සේවය යනු ලාබ ලබන ව්‍යාපාරයක් නොවේ. එය සේවාවකි. එහෙත් රජයේ මගී ප්‍රවාහන සේවාව, පෞද්ගලික අංශය සමග තරගකාරී විය යුතුය. තමන්ට කොහොම වුවත් පඩි ලැබෙන්නේ යැයි ලංගම සේවකයා, දුම්රිය සේවකයා සිතන්නේ නම් ලංගම හෝ දුම්රිය කිසිදාක දියුණු කළ හැකි නොවේ. ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම තත්ත්වය වෙනස් කර මගී ප්‍රවාහන සේවාව දියුණූකරන ලෙසය.
තමන්ට රටෙන් යමක් ලැබෙන බව හැඟෙන විට, රටෙන් තමන්ට ගෞරවයක් පිදෙන බව වැටහෙන විට පුරවැසියාද තම යුතුකම් හා වගකීම් ඉටුකරන සාඩම්බර පුරවැසියන් බවට අනිවාර්යයෙන්ම පත්වේ. ඒ සඳහා වන කදිම ආරම්භයක් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. ඒ මගෙහි යාම බලධාරීන්ගේ වගකීමය.
(***)