බියගමින් අහිමිවූ පවුලේ කොරෝනා ඛේදවාචකය



බියගම ගෝනවල ප්‍රදේශයේ නිවසක එකම පවුලේ තිදෙනකු කොරෝනා ආසාදිතව මියයාමේ සංවේග ජනක ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. එම නිවසේ ගෘහ මූලිකයා ඉකුත් 1 වැනිදා රාගම රෝහලේදී ද ඔහුගේ පියා 4 වැනිදා එම රෝහලේදීම මව නිවසේදීම ද මියගොස් ඇතැයි බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා මහතා ප්‍රකාශ කළ බව ද අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

කොරෝනා මාරාන්තික වයිරසය පැමිණ වසර එක හමාරකටත් වඩා කල් ඉක්ම ගොස් තිබේ. එහෙත් මේ මාරක සැහැසි ග්‍රහණයෙන් මිදුණ රටක් බවට වන සිහිනය තව දුරටත් සිහිනයක්ම බවට පත්ව තිබේ. සැහැසි ග්‍රහණයෙන් බුරුලක් වෙනුවට තවමත් වාර්තා වෙන්නේ එකම පවුලේ තිදෙනකු කොරෝනාවට බිලි වූ වැනි භයංකාර ප්‍රවෘත්ති වේ. තත්ත්වය ඉතා අවදානම් බව එම ප්‍රවෘත්තිවලින් යළි යළිත් සනාථ කරයි.

මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දෙලක්ෂ විසි දහස ඉක්මවා ගියේය. කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දෙදහස් එක සියය ඉක්මවා ගොස් තිබේ. මෙම සංඛ්‍යා ලේඛන වලින් ද අනතුරේ ගැඹුර හඳුනාගත හැකිය. කළ යුත්තේ කුමක්ද? යන්න එකවර සිතාගත නොහැකි යැයි  යමෙකුට සිතෙන්නේ නම් මෙම සංඛ්‍යා ලේඛන සමග සසදන කල්හි එය අරුමයක්ද නොවේ.

රට වසා දමා මසක් කල් ඉක්ම ගොස් තිබේ. ඉකුත් 14 වැනිදා රට විවෘත කරන බවට කලින් ප්‍රකාශ වී තිබුණ ද සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත එම දිනය 21 වැනිදා දක්වා කල් ගියේය. එදිනට ද ගනු ලබන පියවර කුමක් ද? යන්න තීරණය කරනු ඇත්තේ ඒ වනවිට වාර්තා වන සංඛ්‍යා ලේඛන වලට අනුවය. කොරෝනා මාරාන්තික වයිරසය මැඩලීමේ මෙහෙයුම ප්‍රාර්ථනා වලින් පමණක් ජයගත නොහැකි බව යළි යළිත් අවධාරණය විය යුත්තේ එහෙයිනි.

ජනතාව බලවත් ලෙස පීඩාවට පත්ව සිටිය දී රජය ඉන්ධන මිල ඉහළ දැමුවේය. ඕනෑම රජයක් බඩු මිල වැඩි කිරීමට යම් තීරණයක් ගන්නේ නම් ඒ කැමැත්තකින් නොවේ. එබඳු තීරණයක් ගනු ලබන්නේ විකල්පයක් නොමැති වූ විටය. රජය මේ මොහොතේ ඉන්ධන මිල ඉහළ දැමුවේ ද ඒ අර්ථයෙන් විය යුතුය. ආර්ථික අර්බුදය එතරම්ම තියුණුය. ගැඹුරුය. කොරෝනා මාරාන්තික වයිරසය මෙම ආර්ථික අර්බුදය පතුළ නොපෙනෙන ප්‍රපාතයක් වෙත ඇදගෙන යමින් තිබේ.
 
අවධාරණය කළ යුතු ප්‍රධාන කාරණාවක් වේ. ඕනෑම සමාජයක අර්බුද සුළිවලට ප්‍රධාන හේතුව වන්නේ ආර්ථික අර්බුදය වේ. එම අර්බුද සුළි එක්වරම පැන නොනගි. අළුයට ගිනි පුළිඟුවක් මෙන් තිබි ගින්දරට අවශ්‍ය උණුසුම ලැබුණු පසු ගිනි දැල්ලක් බවට පත්වන්නා සේ මෙම අර්බුද සුළිද පිපිරීමට අවශ්‍ය කාලය ලබා ගනී. ඒ අනුව මානව සමාජය ඉදිරිපිට ඇති මාරක අභියෝගය කොරෝනාව නොවේ. කොරෝනාව හරහා අනාගතයේ නියත වශයෙන්ම පැන නගින අර්බුද සුළි මානව සමාජය ඉදිරිපිට ඇති භයංකාර අභියෝගය වේ. එයට මුහුණ දීමට අවශ්‍ය ආම්පන්න සම්පාදනයට මේ මොහොතේ කාලය මිඩංගු කළ යුතුය.

කොරෝනාවට තනි පුද්ගල විසඳුම් නැත. ඇත්තේ පොදු විසඳුම්ය. එම පොදු විසඳුම තුළ ඒ ඒ පුරවැසියාට වෙන් වූ අඩංගුවක් තිබේ. එම අඩංගුව නිවැරදිව වටහාගෙන කටයුතු කිරීම සෑම පුරවැසියකුගේම වගකීමකි. එම වගකීම නිසි රිසි ලෙස ඉටු කරන්නේ නම් මෙම අභියෝගය ජය ගැනීම අසීරු නැත.

සංචරණ සීමා පනවා තිබෙන්නේ පුරවැසියන්ගේ රස්තියාදුව මෙන්ම අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සීමා කිරීමටය. වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම එහි අරමුණය. එහෙත් ඇතැම් පුරවැසියකුට මේ බව අවබෝධ කර ගැනීමට ඇවැසි ප්‍රඥාව නොමැති බව පැහැදිළිය. සංචරණ සීමා පැනවීම නිවැරදිව ක්‍රියාත්මක වන්නේදැයි බැලීමට මෙන් ඇතැමෙක් පාරට එති.

සැබැවින්ම එබඳු පුරවැසියන් සමඟ මෙබඳු මාරක වසංගතයක් මැඩලීම පහසු නොවේ.
දැලට කොටු වූ වටු කුරුල්ලන් සාමුහිකව ක්‍රියා කර දැල ඉරා පලා ගියාක් මෙන් සෑම පුරවැසියකුම මේ මොහොතේ සාමුහික විචාර බුද්ධියෙන් කටයුතු කර මෙම මාරාන්තික වයිරසය මැඩලීමේ මෙහෙයුමට සක්‍රීයව දායක විය යුතුය. නොඑසේ නම් සිදුවනු ඇත්තේ කොරෝනාව පසුපසින් එන අර්බුද සුළියට හසු වී මැදි වී එහි ගිලී යාමටය.

(***)