අත්‍යවශ්‍ය සේවා වශයෙන් මේ රටේ ඇතැම් ආයතන සහ සේවා නම් කරනු ලැබ තිබීම සාමාන්‍ය තත්‍්‍වයකි. ඒ සමගම තවත් ආයතන හිටිහැටියේ අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරෙයි. එම ආයතනවල සේවකයන් වැඩ වර්ජන සහ උද්ඝෝෂණ මෙහෙයවන විට එය සිදුවෙයි. එහෙත් කිසිදු අවස්ථාවක අත්‍යවශ්‍ය සේවාවක් වශයෙන් හඳුන්වා නුදුන්නත් රටේ ජනතාවට අත්‍යවශ්‍ය සේවා සපයන කර්මාන්තයක් වශයෙන් බේකරි කර්මාන්තය හඳුන්වා දිය හැකි ය. පාන් ගෙඩියක බනිස් ගෙඩියක අගය නොදන්නා නිවෙසක් සොයාගත නොහැකි වන්නේ ඒ හේතුවෙනි.
රටටම පාන් බනිස් සපයන එම නිහඬ ‘‘අත්‍යවශ්‍ය සේවාව’’ වන බේකරි කර්මාන්තය මේ වන විට මුහුණදී සිටින බරපතළ අවදානමක් පිළිබඳ පසුගියදා අනතුරු අඟවා තිබුණේ බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එස්.කේ. ගුණවර්ධන මහතා ය. අධික විදුලි, ජල බිල් සහ වැට් බදු හේතුවෙන් රට පුරා බේකරි දහසක් පමණ වැසී ගොස් ඇතැයි ඔහු කළ ප්‍රකාශයේ සඳහන් විය. මීට පෙර රුපියල් ලක්ෂයක විදුලි බිලක් ගෙවූ බේකරි ව්‍යාපාරිකයන් මේ වන විට රුපියල් ලක්ෂ තුනක බිල් ගෙවන බවත් එසේ ම අධික බිත්තර මිල ද බේකරි කර්මාන්තයට දරාගත නොහැකි බවත් හෙතෙම පෙන්වා දී තිබිණි.
හේතුව කුමක් වුවත් බේකරි කර්මාන්තය අකර්මණ්‍ය වෙමින් පවතින්නේ නම් එයින් ද පහර වදින්නේ දිගින් දිගටම ජීවන බර හමුවේ පීඩනයට පත්ව සිටින පොදු මහජනතාවගේ බඩටම ය. සහල් කිලෝවක මිල ඉහළ ගොස් තුන්වේල කෙසේ වෙතත් දෙවේලකට හෝ බතක් උයාගැනීමට අපහසුවෙන් සිටින දරු පවුල්වලට පාන් ගෙඩියක් යනු අඩු මුදලකින් වේලක් සපුරාගත හැකි ආහාරයකි. විශේෂයෙන්ම නාගරික සහ අර්ධ නාගරික පහළ මධ්‍යම පන්තියේත් ඊටත් පහළින් සිටින දිළිඳු ජනතාවගේත් පොදු තෝරා ගැනීමකි. බේකරි දහසක් රටපුරා වැසීයනවා නම් එහි බලපෑම වඩාත් එල්ල වන්නේ ඉහත කී ජනකොටස්වලට බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. බේකරි වැසී යාම පිළිබඳව බලධාරීන් සොයා නොබලන්නේ නම් එය රටේ පොදු ජනතාවගේ ගැටලුවක් බවට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත.
බේකරි වසා දැමීමට හේතුවන තවත් කාරණාවක් වන්නේ විවිධ ආකාරයට නිෂ්පාදන මිල ඉහළ යාම නිසා බේකරි ආහාර වර්ගවල මිල ගණන් ඉහළ දැමීමට නිෂ්පාදකයන්ට සිදුවීමයි. එහෙත් එය පාරිභෝගිකයන් අධෛර්යවත් කරන සාධකයකි. ඒ මත මේ බේකරි නිෂ්පාදන අලෙවි නොවීමේ තත්වයට බේකරි හිමියෝ මුහුණ දෙති. බොහෝ ව්‍යාපාරිකයන්ට එවිට ඉතිරිවන්නේ එකම විකල්පයක් පමණි. ඒ බේකරි වසා දැමීමයි.
පුහුණු සේවක හිඟයෙන් ද බේකරි කර්මාන්තය බැට කමින් සිටී. අමාරුවෙන් ඇදගෙන යන කර්මාන්තයක් බවට පත්වීම නිසා බේකරි ක්ෂේත්‍රයේ රැකියා ද අනතුරේ වැටී තිබේ. එම සේවකයන්ට ප්‍රමාණවත් වැටුපක් ලැබෙන්නේ නැත. එය ද බේකරි ක්ෂේත්‍රය පවත්වාගෙන යාමට බරපතළ බාධාවක් වී තිබේ.
බේකරි කර්මාන්තය අංශ දෙකකින් ක්‍රියාත්මක වන බව ද හඳුනාගත හැක. එයින් එකක් වනුයේ වැසී යාමට මුහුණ දී ඇති පාන් බනිස් සපයන සාමාන්‍ය මට්ටමේ බේකරිය. අනෙක සුපිරි මට්ටමේ බේකරි ආහාර නිෂ්පාදනය කරන ඉහළ මට්ටමේ බේකරි නිෂ්පාදන සමාගම් ය. මෙකී ඉහළ මට්ටමේ බේකරි වැසී යාමේ තර්ජනයට මුහුණ දී නැත. ඔවුන් කරා එන පාරිභෝගිකයන් වියදම් කිරීමේ ඉහළ හැකියාවක් ඇති පිරිසකි. මේ නිසා ඔවුන්ට යම් ප්‍රතිශතයකින් අලෙවිය අඩුවුණත් පාරිභෝගික ජාලය ශක්තිමත් බැවින් ගැටලුවක් නැත.
එහෙත් රටේ අඩු ආදායම් ජනතාවට නැතුවම බැරි අත්‍යවශ්‍ය සේවාවක් වන සාමාන්‍ය බේකරි වැසී යාමට ඉඩනොදී එය රැක ගැනීමට බලධාරීන්ගේ ප්‍රමුඛත්වය හිමිවිය යුතු ය. එම කර්මාන්තය මුහුණ දී සිටින සැබෑ ගැටලු හඳුනාගැනීමට බේකරි හිමියන් සමග සංවාදයක් හෝ ඇතිකර ගත හැකි නම් එය ඵලදායක වනු ඇති බව අපගේ විශ්වාසයයි.
(***)