බොටුව මිරිකීම නතර කර ජනතාවට සහනයක් දෙන්න


යුද සමයේ දී ‘‘මුදා නොගත් ප්‍රදේශ’’ යනුවෙන් විශේෂයෙන් නාමකරණය කරන ලද ප්‍රදේශ තිබිණි. එම ප්‍රදේශ පාලනය කරනු ලැබුවේ ත්‍රස්තවාදීන් විසින්ය. ත්‍රස්තවාදීන්ට අවශ්‍ය ලෙස එම ප්‍රදේශ පාලනය කරනු ලැබූ අතර සාමාන්‍ය ජනයාට සිදු වූයේ ත්‍රස්තවාදීන්ගේ ගිනි අවි ඉදිරිපිට අසරණව අඩදැණිව කල්ගත කිරීමටය.

යුද්ධය නිමාවී වසර පහළොවකට ආසන්න වුවද ‘‘මුදා නොගත් ප්‍රදේශ’’ යන නාමකරණය සිහිගන්වන රාජ්‍ය ආයතන රාශියක් අපට හමුවේ. ලංකා විදුලි බල මණ්ඩලය ඉන් ප්‍රධානය. ඒ බව පසක් කරවන ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියෙන් කියැවුණේ ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසමට පසුගිය 22 වැනිදා යොමු කළ යෝජනාවක් පිළිබඳවය. එම යෝජනාවට අනුව විදුලි ගාස්තුව සියයට 14 කින් අඩු කිරීමට යෝජනා කර තිබේ. විදුලි බල මණ්ඩලය සියයට 3.34 කින් විදුලි ගාස්තු අඩු කිරීමට පසුගිය ජනවාරි මස ඉදිරිපත් කළ යෝජනාව හකුලා ගනිමින් මෙම නව යෝජනාව ඉදිරිපත් කළ බවද අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

ප්‍රශ්නය එය නොවේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පාර්ලිමේන්තුවේ දී ඉකුත්දා ප්‍රකාශ කළේ පසුගිය වසරේ ඔක්තෝබර් මස ඉහළ දැමූ විදුලි ගාස්තුව සියයට 18කින් අඩු කරන බවය. ඔක්තෝබර් විදුලි ගාස්තු ඉහළ දැමීමේ දී ඇතැම් ඒකක කාණ්ඩවලට සියට 18 කට වැඩි ප්‍රතිශතයකින් ගාස්තු ඉහළ දැමූ අතර අමාත්‍ය කාංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයෙක් කියැවුණේ ඔක්තෝබර් මස විදුලි ගාස්තු ඉහළ දැමීමට පෙර තත්වයට ගාස්තු ගෙන එන බවය.

විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා විදුලිය ගාස්තුව සියයට 18කින් අඩු කරන බව කියන විට විදුලි බල මණ්ඩලය කියන්නේ විදුලිය ගාස්තුව සියයට 14 කින් අඩු කරන බවය. ‘‘මේක යකාගේ ආණ්ඩුවක්නේ’’ යනුවෙන් ජනයා අතර ප්‍රචලිත කියමන මෙබඳු අණ්ඩර දෙමළ වැඩවලින් සිහියට නැගීම වැළැක්විය නොහැකිය.

ජනතාව ජීවත් වන්නේ ඉතාම අසීරුවෙන් බව යළි යළිත් සිහිපත් කළ යුතු නොවේ. කුණු බක්කි අවුස්සා කෑමට යමක් සොයන තත්වයට එම අඳුරු ඉරණමට රට පත්ව නොමැති වුවද එබඳු භයංකාර පතුළකට රට ඇද නොවැටේ යැයි සහතිකයක් ද නැත. කරන්ට් මිල ‘‘බල්ටි’’ ගසන්නට පටන් ගත්තේ එබඳු අසීරු තත්වයක ජනයා සිටින මොහොතකය.

පාඩම් කිරීමට විදුලිය අවශ්‍ය නැතැයි ද කුප්පි ලාම්පුවෙන් පාඩම් කළ හැකි යැයි ද විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර තිබිණි. 21 වැනි සියවසේ ජීවත් වුව ද ගල් යුගයේ සිතිවිලි හා ආකල්පවලින් පිරුණු මෙබඳු පන්නයේ නිලධාරීන්ගෙන් ජනතාවට සෙතක් - සහනයක් අපේක්ෂා කළ නොහැකිය.

විදුලි බල මණ්ඩලය මුදා නොගත් ප්‍රදේශයක් ලෙස හැඳින්විය යුත්තේ එහෙයිනි. මෙය තුළ ඉතා ප්‍රබල වෘත්තිය සමිති මාෆියාවක් ද ක්‍රියාත්මක වේ. නිලධාරීන් මෙන්ම වෘත්තිය සමිති නායකයන් සිය නිලතල මෙන්ම බල පුළුවන්කාරකම් පාවිච්චි කර ගනිමින් අති විශාල වරප්‍රසාද භුක්ති විඳින බවද නොරහසකි. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කර තිබුණේ විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් විවිධ පන්නයේ දීමනා 36ක් භුක්ති විඳින බවය. එම දීමනා 36න් කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ දීමනා 26කට පමණක් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි. එහෙයින් අප යෝජනා කරන්නේ ජනතාවගේ බොටුව මිරිකා සුර සැප විඳීම වෙනුවට ජනතාවට සහන සලසන ලෙසය.

 

(***)