ප්‍රාග් ඓතිහාසික යුගයේදී මිනිසා ගස්, ගල් පර්වත නමස්කාර කළේය. එම මිනිසාට ඉර මෙන්ම හඳද දෙවියන් විය. ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ භාරතයේ විද්‍යාත්මක පදනමක් නොමැති ඇදහිලි හා විශ්වාස 62ක් විය. ඒවායේ ඇතැම් ඉතිරි බිතුරු තවමත් ඉන්දියාවේ පවතී. 21 වැනි සියවස වුවද අදටත් ඉන්දියාවේ “නිඝන්ටනාථ පුත්තලා” සිටිති. ඉන්දියාවේ පමණක් නොව මේ රටේ තත්ත්වය ද එයින් වෙනස් නොවන්නකි.
අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ එක් ප්‍රවෘත්තියකින් කියැවුණේ මල්වානේ යබරව ප්‍රදේශයේ කඩවර දේවාලයකට ශාන්ති කර්මයක් සිදුකර ගැනීම සඳහා ගිය 64 හැවිරිදි විදුලි කාර්මික දෙදරු පියකුගේ දකුණු යටිපතුල දරුණු අන්දමින් පිළිස්සූ බව කියන එම දේවාලයේ කපුවා හා ඔහුගේ පුතා අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසන බවය.
දේවාලයේ කපුවා මැටි පහනකට කපුරු දමා දල්වා යටි පතුලට ඇල්ලීමෙන් දරුණු ලෙස පිළිස්සුණු දෙදරු පියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.
සිරුරට අධික ලෙස සැප දීමෙන් විමුක්තිය සලසාගත හැකි බව බුද්ධ - කාලීන භාරතයේ විසු ඇතැම්හු සිතූහ. එමෙන්ම සිරුරට අධික ලෙස දුක්දීමෙන් විමුක්තිය අත්පත් කරගත හැකියැයි තවකෙක් සිතූහ. බුදුදහම මෙම දෙපිරිසට අන්තවාදීන් ලෙස සලකා බැහැර කර ඇත. මල්වානේ යබරව ප්‍රදේශයේ කඩවර දේවාලයක් පවත්වා ගෙන යන කපුවා අයත් වන්නේ දෙවැනුව කී වර්ගයේ අත්තකිලමතානු යෝගයටය. ප්‍රශ්නය වන්නේ මෙවැනි මිථ්‍යාවලට හසුවන ගොදුරුවන, එමෙන්ම මිථ්‍යාව සාඩම්බර පදක්කමක්ව පළඳින අඥාන පුරවැසියන් බුරුතු පිටින් තවමත් සිටීමය.
21 වැනි සියවස යනු දැනුමට අදාළ සියලු සීමා බැමි පුපුරවා හල සියවසකි. එමෙන්ම දැනුමට අදාළ සියලු ඒකාධිකාරි විසුරුවා හල යුගයකි. දැන් දැනුම ඇත්තේ ගුරු කුලවල හෝ පාර්ශ්ව සතුව නොව අන්තර් ජාලයේය. ඕනෑම අයකුට අන්තර් ජාලය ඔස්සේ තමන්ට අවශ්‍ය දැනුම සොයාගත හැකිය. විශ්වයේ කිමිදි කිමිදී එම දැනුම පාදාගත හැකිය. දැනුම මිනිසාට මේ තරම්ම සමීප වූ යුගයක් ඉතිහාසයේ නැත. එය එසේ වුවත් මිථ්‍යාව පසුපසින් යන්නෝ බහුල වෙති.
‘නොදන්නා යකාට වඩා දන්නා යකා හොඳයි’ යන්න ජන ජීවිතයට බොහෝම සමීප එමෙන්ම අරුත්බර කියමනකි. එය එසේ වුවද ඇතැමෙක් එසේ කියමින්ම නොපෙනෙන බලවේගවල පිහිට පැතීමට පෙළැඹෙති. මෙයින් කියැවෙන්නේ නොපෙනෙන සියල්ල “පට්ට කෙබර” බව නොවේ. එහෙත් එයට විද්‍යාත්මක පදනමක් තිබේ. බුදුරජාණන් වහන්සේ වදාළේ බිය, නැතිගැන්ම ආදිය නිසා මිනිසුන් නොපෙනෙන බලවේගවලින් හා ගස්, ගල් පර්වතවලින් පිහිටක්, රැකවරණයක් අයදින බවය.
21 වැනි සියවසේදීත් එබඳු මිනිසුන් සිටී නම්, එය අප සමාජයේ එක් අඳුරු පැතිකඩක් නිරූපණය කරන්නකි. සඳ තරණය කර විශ්වය ජයගත් ලෝකයට අවශ්‍ය වන්නේ එම යුගයට ගැලපෙන මිනිසුන්ය. දේවාල ගානේ යමින්, කපුවන් පසුපස ගාටමින් ගොස් මරණයට පත්වූ මිනිසුන් සම්බන්ධ අනුවේදනීය පුවත් මෙන්ම විවිධ අතවර කරදරවලට ලක්වූ පුවත් ද ඕනෑ තරම් තිබේ. මෙහි නුවණ පාදාගැනීමට කදිම නිදසුන්ය.
එමෙන්ම නොපෙනෙන බලවේගවල පිහිට පැතීමට ගොස් වස්ත්‍රයේ සිට සියලු සේසත අහිමි කරගත් මිනිසුන් පසුව පෙනෙන පොලිසියේ පිහිට පැතූ පුවත් ද ඕනෑ තරම්ය. ඒවා අසා දැක කියවා හෝ නුවණ මතුකර ගැනීම අපේ පුරවැසියන්ගේ වගකීමය.
(***)