මහ වැස්සෙන් පීඩාවූවන්ගේ වේදනාව සමනය කරවමු


‘‘ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නා’’ සේ කොවිඩ් මාරාන්තික වයිරසයෙන් ඉහළ යන ජීවන වියදමෙන් අත්‍යවශ්‍ය භාණ්‍ඩවල හිඟයෙන් අනේක විධ පීඩාවලට පත්ව සිටින මහජනයාට සොබා දහම ද දයා විරහිතව අඛණ්ඩව පහර දෙමින් සිටී. දරුණු ගංවතුරක් සම්බන්ධ අනතුරු ඇඟවීම් ද නාය යෑම් සම්බන්ධ සිහි කැඳවීම් ද එමටය. මෙම සටහන තබන මොහොත වනවිට මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මරණ 12 ක්ද දිවයිනේ දිස්ත්‍රික්ක 17 ක පවුල් හත් දහසකට වැඩි ගණනක් පීඩාවට පත්ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ වාර්තා කළේය.

රඹුක්කන උඩගලදෙණිය ප්‍රදේශයේ නාය යෑමකින් තිදෙනකු මිය යාමේ ​ශෝක ජනක පුවතක් ද වාර්තා විය. එහිදී එක් අයකු බරපතළ ලෙස තුවාල ලබා ඇතැයි ද සඳහන්ය.

ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් ඉතා විද්‍යාත්මක ඉගැන්වීමක් බුදු දහමේ දැක්වේ. ඉන් සඳහන් වන්නේ උපයන ධනය කොටස් හතරකට බෙදා එක් කොටසක් පරිභෝජනයට ගෙන කොටස් දෙකක් ආදායම් මාර්ගයේ නඩත්තුවට යෙදිය යුතු බවය. ඉතිරි කොටස ආපදාවක දී ප්‍රයෝජනයට ගැනීම පිණිස තැන්පත් කළ යුතු බවය.

රාජ්‍ය ආදායම රාජ්‍ය ණය පංගුව හා පොලිය ගෙවීමටත් ප්‍රමාණවත් නොවන රටක ආපදාවක දී ප්‍රයෝජනයට ගැනීමට තැන්පත් කිරීමට ලුණූ ටිකක් හෝ ඉතිරි වන්නේ නැත. රටේ සාමාන්‍ය තත්ත්වය එය වූ විට රටේ සාතිශය බහුතරයක් ජනයාගේ ඉරණම ද එයින් වෙනස් නොවේ. හදිසි ආපදාවක දී අප වැනි රටත් මෙන්ම ජනතාවත් මෙතරම් බරපතළ ලෙස පීඩාවට පත් වන්නේ එහෙයිනි. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය. මහවැසි තුරන් වී ගං වතුර බැස ගිය පසු සියල්ල අතීතයට පවරා ඊළඟ උවදුර එනතුරු බලා සිටීමේ පිළිවෙත වෙනස් කළ යුතුය. මෙබඳු හදිසි ආපදාපන්න මොහොතකට වඩාත් ශක්තිමත්ව මුහුණ දීමට දියුණු විද්‍යාත්මක යාන්ත්‍රණයක් තිබිය යුතුය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කළ පරිදි පීඩාවට පත් පවුල් 113 කට අයත් 445 දෙනෙක් ආරක්ෂිත ස්ථාන 13 ක රඳවනු ලැබ සිටිති. තවත් පවුල් 357 කට අයත් 1,243 දෙනකු ඥාති නිවෙස්වල රඳවා ඇතැයි ද එම මධ්‍යස්ථානය පවසයි.

නාය යාමේ අනතුර ඇති ස්ථාන හඳුනාගෙන ඒවා රතු කලාප ලෙස නම් කිරීමේ ක්‍රමවේදයක් තිබේ. එහෙත් එම ස්ථානවල ජනයා ජීවත් වෙති. මරණය දැක දැකත් ජනයා එම ස්ථානවලම ජීවත් වන්නේ ජීවත්වීමට වෙනත් තැනක් නොමැති හෙයිනි. එසේ නම් නාය යෑමේ අනතුර ඇති ස්ථාන හඳුනා ගැනීමෙන් පමණක් ප්‍රයෝජනයක් වන්නේ නැත. ජනයා එම ස්ථානයෙන් ඉවත් කර වෙනත් සුදුසු ස්ථානයක පදිංචි කළ යුතුය. එය බලධාරීන් සතු වගකීමකි. නොඑසේ නම් එම ජනයාට සිදුවන්නේ උන්හිටිගමන් උන්හිටිතැන් අහිමිවීමටය. මිය යන බවවත් නොදැනම එම පස් කඳු යට සැඟවෙන්නටය.

 මෙය කොතරම් දුක්ඛිත ඉරණමක්ද යන්න වටහා ගැනීම අසීරු නැත. එහෙත් මේ රටේ අපේම සහෝදර ජනයාගෙන් කොටසකට එම දුක්ඛිත ඉරණම ජීවිතය ලෙස බාර ගැනීමට සිදුවී තිබේ. ඉඳින් සෞභාග්‍යය උදා කරන්නේ කෙසේද යන්න පැහැදිලි නැත්තේ එහෙයිනි. මාර්ග කාපට් කිරීමට අධිවේගී මාර්ග හැදීමට ඇති උනන්දුවම මෙබඳු ප්‍රශ්න නිරාකරණය කිරීමට ද යොමු විය යුතුය.

මහ වැසි සමග වසංගත රෝග සම්බන්ධ භීතිය ද නිපදවේ. ඩෙංගු මාරයා ඉන් ප්‍රධානය. කොවිඩ් මාරක වසංගතය හමුවේ ඩෙංගු සම්බන්ධ අවධානය ලිහිල්වී ගොස් ඇත. අප කොහොමත් සංහාරයෙන් පසුව සංරක්ෂණය සම්බන්ධයෙන් කටමැත දෙඩවීමට උපන් හපන්නු වෙති. වසංගත රෝග ආදිය ව්‍යාප්තිය මැඬලීම බලධාරීන් සතු වගකීමක් පමණක් නොවේ. එය ජනතාවගේ ද වගකීමකි. ඇද හැලෙන මහ වැසි කොරෝනා මාරාන්තික වයිරසයට පාවාඩයක් බව අමතක නොකළ යුතුය. මෙම තත්ත්වය මැඬලිය හැකිවන්නේ ජනතාව තම සහයෝගය හා දායකත්වය නොමසුරුව ලබා දීමෙන් පමණි. එම සහයෝගය හා දායකත්වය ලබා නොදෙන්නේ නම් ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වන්නේද ජනතාවටය.

ගං වතුරෙන් හා නායයෑමෙන් පීඩාවට පත් ජනයාගේ සුබ සාධනය ද අමතක කළ නොහැක. ඔවුන් සිටින්නේ උපයා සපයාගත් සියල්ලම අහිමි වූ දුක්බර මොහොතකය. ආහාර පාන ඇඳුම් පැලඳුම් මෙන්ම ඖෂධ ද ඔවුන්ට ඇවැසිය. ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ මෙන්ම සෙසු මහජනයාගේ අවධානය ප්‍රමාණවත් මට්ටමෙන් යොමු විය යුතුය. අප සියල්ලම එක්වන්නේ නම් අභියෝග ජය ගත හැකි බව ඉතිහාස පාඩමය.

(***)