මහජන මුදල් හිතු මනාපෙට වියදම් කරන්න දෙනු එපා


රුපියල් හැටතුන් දහසක් වටිනා සපත්තු කුට්ටමක් සහ බෑගයක් අයථා ලෙස මිලදී ගත් නිලධාරිනියක ගේ එම මිලදී ගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තවත් රුපියල් ලක්ෂ 03ක් වැය කිරීමේ සිද්ධියක් පසුගියදා අපගේ ලංකාදීපයේ ප්‍රධාන පුවතකින් අනාවරණය කෙරිණි. සිද්ධියට සම්බන්ධ ආයතනය ලංකා විදුලි බල මණ්ඩලයයි. නිලධාරිනිය මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරියකි.

අදාළ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීමට විශ්‍රාම ලත් විනිසුරුවරයකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා විසින් පත්කර ඇතැයි ද එම කමිටුව  වාර ගණනාවක දී රැස්වී සිද්ධිය විමර්ශනය කර ඇතැයි ද සඳහන් ය. රුපියල් හැටතුන්දාහක අයථා ගෙවීම තුන් ලක්ෂ හැටතුන් දහසක් දක්වා වර්ධනය වී ඇත්තේ එකී ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයන් සඳහා කළ ගෙවීම් හේතුවෙන් බව පසුව මණ්ඩලයේ සේවක පිරිසක් පෙන්වා දී ඇත.

ප්‍රංශයේ සති තුනක  අධ්‍යාපන චාරිකාවක් සඳහා එම නිලධාරිනිය විසින් මණ්ඩලයේ මුදලින් මිලදී ගන්නා ලදැයි කියන රුපියල් 35,000ක  සපත්තු කුට්ටමක් සහ රුපියල් 28,000ක බෑගයක් සම්බන්ධයෙන් සොයා බැලීම මේ තරම් කල් ගෙවෙන මෙතරම් වියදමක් සිදුකෙරුණු ව්‍යාපෘතියක් බවට පත් වූයේ කෙසේද? ඒ සඳහා මණ්ඩලයේ බලධාරීන්ට  පිළිතුරක් තිබිය යුතු ය. එම මුදල් ගෙවා ඇත්තේ මණ්ඩලයේ බලධාරීන්ගේ සාක්කුවෙන් නොව රටේ මහජනතාවගේ මුදලින් බැවිනි. එසේ ම එය බැලු බැල්මට විශාල මුදල් නාස්තියක් වශයෙන් ද පෙනී යයි. මෙතරම් පැහැදිලි සිද්ධියක්  පිළිබඳ විමර්ශනය කර තීන්දුවක් දීමට  ලක්ෂ ගාණක් වැය කළ කමිටුවේ නිලධාරීන් ද මේ මුදල් නාස්තියට වගකිව යුතු ද යන්න සොයා බැලීම මණ්ඩලයේ බලධාරීන්ගේ වගකීමක් බව ද පෙන්වා දිය යුතු ය.

මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතාගෙන් ලංකාදීපය කළ විමසීමේ දී  ඔහු ප්‍රකාශ කර ඇත්තේ කොපමණ මුදලක් ඒ සඳහා වැයවූයේ දැයි නොදන්නා බවත් පරීක්ෂණ මණ්ඩලයට ගෙවීමක් කිරීම සාමාන්‍ය තත්වයක් බවත් ය. ඒ බව අපි ද පිළිගනිමු. කිසිදු ආයතනයක් ගාස්තුවකින්  තොරව  සේවාවක් ලබා නොගත යුතු ය. එහෙත් එය අසීමිත ගාස්තුවක් නොවීම ද අවශ්‍ය ය. ඒ සඳහා වගබලා ගත යුතුව තිබුණේ මණ්ඩලයේ බලධාරීන් බව අපගේ පිළිගැනීමයි. මෙවැනි පරීක්ෂණ මණ්ඩලවලට සහභාගි කරවා ගන්නා සාමාජිකයන් ඒ සඳහා විශේෂඥ දැනුමක් ඇති ඉහළ තනතුරු දැරූ දරමින් සිටින නිලධාරීන් බවත් අපි දනිමු. එවැනි නිලධාරීන් මේ සඳහා වැය කරන කාලයට නිසි වටිනාකමක් ගෙවීම ප්‍රශ්නයක් නැත. එහෙත් නිලධාරිනියගේ සපත්තු කුට්ටමකට සහ බෑගයකට කළ වියදම අයථා අයුරින් සිදුවී  දැයි සෙවීමට රුපියල් ලක්ෂ තුනක් වැය කිරීම නම් කිසිසේත් සාධාරණීකරණය කළ නොහැක. එවැනි සිදුවීම් මින් ඉදිරියට හෝ සිදුවීම වැළැක්විය යුතු ය.

සිද්ධිය ගැන සෙවීමට රුපියල් ලක්ෂ ගාණක් වැය කළත් ඊට අදාළ නිලධාරිනියට  හෝ එයට සම්බන්ධ වෙනත් කිසිදු පුද්ගලයකුට හෝ එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි හෙළිවී තිබීම ද විමතියට කරුණකි. එසේ නම්  මණ්ඩලය රුපියල් ලක්ෂ තුනකට වඩා වැයකර ඇත්තේ එම නිලධාරිනිය අතින් කිසිදු වැරැද්දක් සිදු නොවී ඇතැයි ප්‍රකාශ කිරීමේ අදහසින් ද යන ගැටලුව ද මෙහිදී පැන නගී. එසේම අධ්‍යාපන චාරිකා සඳහා සහභාගි වන නිලධාරීන්ට මණ්ඩලය මගින් බෑග් සහ සපත්තු මිලදී ගැනීමට මුදල් වෙන්කරන බවට තීන්දුවක් ගෙන තිබේ ද යන්න හෙළිකර ගැනීම ද  අවශ්‍ය ය. එවැනි තීන්දුවක් නැත්නම් එය මණ්ඩලයේ මුදල් අයථා ලෙස වැය කිරීමකි. එක් නිලධාරිනියක් ලැබූ විශේෂ වරප්‍රසාදයකි.  ඒ  සඳහා වගකිව යුතු අයගෙන් අඩුම තරමින් එහි අලාභය හෝ අයකර ගත යුතුය. එසේ වූවානම් මණ්ඩලයට එම සිද්ධිය ගැන  සෙවීමට රුපියල් ලක්ෂ ගණනක් වැය කිරීම අවශ්‍ය නැත.

අවසානයේ ඒ සියලු බිල්පත්වල බර පැන දරන්නට සිදුවන්නේ විදුලි  පාරිභෝගිකයන් වන රටේ පොදු මහජනතාවට බව සිහිපත් කළ යුතුය. දත්මිටි කාගෙන දරාගත නොහැකි විදුලි බිල් ගෙවන පාරිභෝගිකයන්ට මෙවැනි සිදුවීම් අසන දකින විට දැනෙන හැඟීම් විස්තර කිරීමට  වචන පවා ප්‍රමාණවත් නැත.

(***)