මාධ්‍ය නිදහස වෙනුවෙන් දුන් ඓතිහාසික නඩු තීන්දුවක්


තොප්පියක් පැළද රත්නපුර මහ දිසාපති කාර්යාලයට ඇතුළු වුණැයි කියමින් මාධ්‍යවේදියකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර හිටපු මහ දිසාපති මාලනී ලොකුපෝතාගම මහත්මිය සහ රත්නපුර පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී එම මාධ්‍යවේදියාට වැඳ සමාව  ගැනීමේ පුවත අද අප පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස වාර්තා කර තිබේ.

දෙපාර්ශවයේම එකඟත්වය මත සිද්ධිය සමථයට පත්  වූ බවත් මාධවේදී සරත් විමලරත්න මහතාට එරෙහිව කිසිදු ඉදිරි පියවරක් නොගැනීමටද ඔහුට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේදි ගොනුකර ඇති නඩුව ඉල්ලා අස් කර ගැනීමටද වග උත්තකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේදි පොරොන්දු වූ බවත් අප ප්‍රධාන ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

ප්‍රධාන  ප්‍රවෘත්තියෙහි සියල්ල සවිස්තරව ඇත. එහෙයින් මෙතැන්  සිට මෙම අධිකරණ තීන්දුවෙන්  ලබාදෙන පණිවිඩය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත්ය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මුර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන්  සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මාධ්‍යවේදි සරත් විමලරත්න මහතා ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කළැයි සඳහන් කරමින් පවරා තිබූ පෙත්සම කැඳවූ අවස්ථාවේ දුන් විනිශ්චය ඓතිහාසික තීන්දුවකි.

ජනමාධ්‍යයට අදාළව ඇති ප්‍රකට කියමනක් වන්නේ ‘දෙවියන් වහන්සේ යමකු සමග තදබල ලෙස උරණ වුවහොත් ඔහුට දඬුවමක් වශයෙන් දෙන්නේ තුන්වැනි ලෝකයේ රටක මාධ්‍යවේදියකු කිරීම’ බවය. තුන්වැනි ලෝකය යන්නෙන් මෙහි අරුත් ගැන්වෙන්නේ නොදියුණ රටක් බවය. එය භෞතික  වශයෙන් මෙන්ම සමාජයීය වශයෙන්ද නොදියුණු බව අර්ථ ගැන්වේ. එවැනි සමාජයක මාධ්‍යවේදියකුවීම අතිශයින්ම දුෂ්කර වූත් අභියෝගාත්මක වූත් අත්දැකීමකි.

රිචඩ් ද සොයිසා මාධ්‍යවේදියෙකි. මහ රෑ ඔහුගේ නිවසට කඩා පැන ආරක්ෂක අංශ සාමාජිකයෝ පිරිසක් ඔහු කුදලාගෙන ගියහ. ඔහුගේ මළ සිරුර හමු වුයේ එගොඩ උයන මුහුදු වෙරළෙන්ය. සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා මරා දමුණේ මහ මග මහ දවාලේය. ඇතැම් මාධ්‍යවේදීන් පැහැර ගෙන ගොස් වධ බන්ධනයට ලක්කිරීමේ සහමහ මඟ දමා යාමේ සිද්ධීන්ද ඉතිහාසය පුරාවට ඇත. බොහෝ මාධ්‍යවේදීහු විදෙස් රටවලට පැනගොස් ජීවිත ආරක්ෂාව සලසා ගත්හ.

මාධ්‍යවේදියාගේ වගකීම හඳුනා නොගන්නා පිරිස් හි ප්‍රතිචාරය එබඳුය. අප රටද නොදියුණු රටක් ලෙස සැලකීමට සිදුවන්නේ සංස්කෘතික අතින් අප රට බොහෝ පහළම තැනක තිබෙන හෙයිනි.

මාධ්‍යවේදී සරත් විමලරත්න මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුව වඩාත් වැදගත් වන්නේ මාධ්‍යවේදියාගේ කාර්යභාරය සම්බන්ධයෙන් වෙනත් මානයකින් බැලීමට එම නඩු තීන්දුවෙන් පෙළඹවීමක් ඇති කරවන බැවිනි.

බලය යනු පීඩාකාරී මෙවලමකි. එහෙයින් එය බොහෝ වගකිමෙන් පරිහරණය කළ යුතුය. ඇතැම්හු බලයෙන් මත් වෙති. එය ධන බලය, දේශපාලන බලය, නිල බලය විය හැකිය. එසේ බලයෙන් මත් වුවෝ ‘සියල්ල තමනට අවැසි ලෙස සිදුවිය යුතු යැයි සිතති. එසේ නොවන විට තමා සතු බලය ඉතා තුච්ඡ ලෙස මුදාහරිති. මෙම නඩු තීන්දුව එබන්දන්ට යමක් කිරීමට පෙර  දෙවරක් නොව සිද දහස් වාරයක් විමසා බැලීමට පෙළඹවනු නියතය. එය එසේ වන්නේ නම්‘ වැඳ’ සමාව ගැනීමේ ඉරණමට යටත්වීමට සිදු නොවනු ඇත.

(***)