මැයි දින රැලිවල ශේෂපත්‍ර විමසුමක්


මැයි දිනය නිමාවට පත්විය. එහි ශේෂ පත්‍රය විමසා බැලීමට පොළඹවන සුළු සේයාරුවක් සහ ප්‍රවෘත්තියක් අප පුවත්පත ඊයේ පළ කළේය.

 සේයාරුව මුල් පිටුවෙනි. එහි දැක්වෙන්නේ බොරැල්ලේ පැවැති මැයි රැලියකට සහභාගී වූ පාක්ෂිකයන් බැහැර කර තිබූ කැළිකසළ ඉවත් කරන සියලු සාන්තුවරයන්ගේ පාසලේ සිසුවියන් පිරිසකි.

 ප්‍රවෘත්තියෙන් කියැවුණේ මෙවර මැයි රැලිවලට රුපියල් කෝටි 200ක් වියදම් කර ඇති බවය.

පාර්ලිමේන්තුව එක් දිනක් රැස්වීමට රුපියල් කෝටියක් පමණ වියදම් වේ. එය නාස්තිකාර වියදමක් බව පොදු පිළිගැනීමය. එයට හේතුව එසේ රැස්වී ‘වැදගත්’ යමක් කතාබහ නොකරන බවට ඇති චෝදනාවය. කෑ කෝ ගැසීම්, බැණ අඬගැසීම්. රණ්ඩු දබර විනා ජන ජීවිතයට බලපාන, ජන ජීවිතය නගාසිටුවීමට යමක් හරවත් පලදායි සාකච්ඡා නොවන්නේ නම් සැබැවින්ම රුපියල් කෝටියකට ආසන්න මුදලක් වියදම් කර පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නැත.

රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය කර පාර්ලිමේන්තුව රැස් කිරීම හා සමානවම රුපියල් කෝටි 200ක් වියදම් කර මැයි රැලි පැවැත්වීමද ගත හැකිය. එසේ මැයි රැලි පැවැත්වීමෙන් කම්කරුවාට අත්වූ සුගතිය කුමක්ද යන්න විමසිය යුතුය.

මෙයට පෙරත් අවධාරණය කළ පරිදිම මැයි දිනය කම්කරුවාගේ දිනය වේ. අහිමි කළ අහිමි වූ ජයග්‍රහණ සොයා හඹා යාමට කම්කරුවා පෙළගස්වන දිනය වේ. බන්දේසි මත තබා නොදෙන ඉල්ලීම් දිනා ගැනීමට සමස්ත කම්කරු පන්තියම එක මිටට ගොනු කරන දිනය වේ. එහෙත් මෙවරද කම්කරු දිනය ගෙවී ගියේද පෙර මෙන්ම කිසිවක්ම උරුම කර නොදෙමින් යන්න සත්‍ය වේ.

ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණයට පෙර පැවැත්වෙන අවසන් මැයි දිනය මෙය වීම නිසාම සෑම දේශපාලන පක්ෂයක්ම මෙවර මැයි දිනය යොදා ගනු ලැබුවේ තම තමන්ගේ පක්ෂවල මහන්තත්තකම පෙන්වීමටය. කම්කරු දිනය මෙන්ම කම්කරුවාද  පාවිච්චි වූයේ එයටද? ඒ වෙනුවෙන් කොපමණ මුදලක් වැය වුවද දේශපාලන පක්ෂවලට එය ප්‍රශ්නයක් නොවේ. අනෙකාට අපහාස කර තමන්ගේ පුරාජේරුව කියා ගැනීමට අවස්ථාවක් ලැබීම බොහෝ දේශපාලන නායකයන්ට අමන්දානන්දයට හේතුවකි.  තමන් පාවිච්චි වූ බව නොදන්නා කම්කරුවා මැයි 2 වැනිදා සිට පැරැණි පුරුදු විදියටම සකල අගති හිස මත දරාගෙන දහදිය වගුරයි.

කම්කරුවා යනු පන්තියකි. පන්තියක් යනු සංවිධානයකි. එය නිකම්ම නිකම් සංවිධානයක් නොව දේශපාලන සංවිධානයකි. එබඳු සංවිධානයක බලගතුම අවිය විනය වේ. එය හැඳින්වෙන්නේ සංවිධානාත්මක විනය ලෙසය. මැයි රැලිවලට සහභාගී වූයේ එබඳු නීතිගරුක විනයගරුක කම්කරුවන් නම් මැයි රැලි පැවැත්වූ ස්ථාන හා ඒ අවට කුණු කඳු ගොඩගැසෙන්නට හේතුවක් නැත.

විශේෂයෙන්ම ඊට පසු දින පාසල් දිනයක් බැවින් දරුවන් පාසලට පැමිණ ඇල්මෙන් අකුරු ඉගෙන ගත යුතු බව නොසිතන නොතකන, පුද්ගලයා සබුද්ධිකද යන්න විමසිය යුතුය. මැයි රැලි පැවැත්වූ බොහෝ තැන්වල තත්වය එසේමය.

පවතින ආර්ථික තත්වය හමුවේ වියදම් වැඩි වුණා යැයි දේශපාලන පක්ෂවලට පැවසිය හැකිය. අප ප්‍රවෘත්තියේ සඳහන් වන්නේ පාක්ෂිකයන් ප්‍රවාහනය කිරීමට වැඩි වියදමක් දැරීමට දේශපාලන පක්ෂවලට සිදුවූ බවය. එයින් කියැවෙන්නේ කම්කරුවා හෝ පාක්ෂිකයා පැමිණියා නොව ඔවුන් රැගෙන ආ බවය. ඒ කෙසේ වෙතත් අපට වැදගත් වන්නේ අවසන් ප්‍රතිඵලය වේ. එය කුමක්දැයි මැයි දිනය අයිති කම්කරුවා සිහිපත් කළ යුතු දෙයකි.

(***)