මැයි දිනයේ නිසි අරුත හරිහැටි තේරුම් ගනිමු


ජාත්‍යන්තර මැයි දින සැමරුම අදට යෙදී තිබේ. වැඩ කරන පන්තියේ ජනයාගේ ශක්තිය එක මීටට එකතු කර සකල අගති කුදලා දමන අරගලයට පණ පොවන මැයි දිනය වෙනුවෙන් කැපවන කම්කරු ජනයාට ලංකාදීපයේ හෘදයාංගම ශුභාශිංසන පළමුව පිරි නමමු.

දෙවනුව අවධාරණය කළ යුතු කරුණු කිහිපයකි.

කම්කරු දින සැමරුම වාර්ෂික ලිත් සැමරුමක් බවට පත්ව තිබේ. කැලැන්ඩරයේ එවන් දිනයක් සටහන්ව ඇති හෙයින් එම දිනය මගහැර යා නොහැකි නිසා සමරන්නක් බවට පත්ව තිබේ. එසේ නොමැතිව කම්කරු පන්තියේ බලය මහෝගයක්ව පෙරට ගැනීමේ වුවමනාවක් නොමැති සෙයකි. එය එසේ සිදුවී තිබෙන්නේ මැයි දිනයේ සැබෑ අරුතෙන් මැයි දින සමරන්නන් දුරස්ව ඇති හෙයිනි.

මැයි දිනයේ සැබෑ අරුත පැය 8 ක වැඩ දිනයක් ඉල්ලා වැඩබිම් සටන් බිම් බවට පරිවර්තනය කළ චිකාගෝ නුවර කම්කරුවන්ගේ රුධිරය හා ජීවිත පූජාවන් උත්කර්ෂයට නැංවීමය. කම්කරු පන්තියට සටන් කර ඉල්ලීම් දිනාගන්නා යුරු ඉගැන්වූ ‘ගුරුවරුන්’ සැමරීමය. ශ්‍රම සූරාකෑමට එරෙහිව අරගල කළ චිකාගෝ නුවර කම්කරුවන්ගේ සිරුරු විනිවිද ගිය වෙඩි උණ්ඩ නිසා ඔවුන්ගේ ඇඳුම් ලෙයින් තෙත බරිත විය. ලේ තැවරුණ එම ඇඳුම් ඔසොවාගෙන ජීවිත දානය ලද කම්කරුවෝ නිර්භීතව සටන් කළහ. එම සටනේ ආනුභාවයෙන් පැය 8 ක වැඩ දිනය ප්‍රකාශයට පත් කිරීමට පාලකයන්ට සිදුවිය. ධනය, බලය හා තුවක්කු බට ඉදිරියේ නියාලුව, නිවටව පසුබා යාමේ මාවත තෝරා නොගත් චිකාගෝ නුවර කම්කරුවන්ගේ වීරත්වය සමකාමීත්වය මැයි දින සැමරුමේ ප්‍රමුඛ අංගය විය යුතුය.

එහෙත් අපේ රටේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? මෙරට කම්කරුවා දේශපාලන පක්ෂ වශයෙන් බෙදී වෙන්වී ගොස් තිබේ. කම්කරුවාට පන්තිය වෙනුවට පක්ෂය තෝරා ගැනීමට සිදුවී තිබේ. පන්තියට වෘත්තිය සමිතියක් නිර්මාණය කිරීම වෙනුවට පක්ෂයේ වෘත්තිය සමිතිය තෝරා ගැනීමට සිදුවී තිබේ. පක්ෂය සරසන ආයිත්තමක් බවට කම්කරුවා පත්වී තිබේ.

වෘත්තිය සමිති පිහිටුවා ගනු ලබන්නේ එම  ක්ෂේත්‍රයේ ගැටලු විසඳා ගැනීමටය. එහෙත් බොහෝ වෘත්තීය සමිති ක්‍රියාත්මක වන්නේ එම අරුතින්දැයි කම්කරුවා සිතා බැලිය යුතුය. තමන්ගේ ශක්තිය පාලකයාගේ දෙපාමුල දියකර හැරීම හරහා තම නායකයන් පාලකයන්ගේ වරදාන වරප්‍රසාද ලබාගෙන සුර සැප විදීම අත්හැර කම්කරුවාගේ අයිතිය මෙනෙහි කළ යුතුව තිබේ. දළ රළ පෙළක්ව උස්ව නැගිය යුතු කම්කරු පන්තියේ අයෝමය බලය දුබල තත්වයට පත්ව තිබෙන්නේ අහේතුකව නොවන බව දැන්වත් තේරුම් ගත යුතුව තිබේ.

දූවිල්ලෙන් සහ දාහයෙන් පිරුණු මංමාවත්වල දිවාකල සටන් පාඨ වගුරා සවස් කල වේදිකා පාමුල හිඳ දේශපාලකයන්ගේ වාගාඩම්බර අසා නිවෙස් කරා යාමේ ඉරණම කම්කරුවාට මෙවරද බාර ගැනීමට සිදුවී තිබේ. මෙවැනි මැයි දින සැමරුමකින් තම ජීවිතවලට එල්ල වූ අල්ප මාත්‍ර හෝ බලපෑමක් වේදැයි යන්න සන්සුන් මනසින් වැඩිය යුතු භාවනා කමටහනකි. කම්කරු පන්තිය, දේශපාලන පක්ෂවල අතිරේක බළ ඇණියක්ව තිබෙන තුරු කම්කරුවාට අත්වන සුගතියක් නැත.

‘‘සකළ දේශවාසී නිර්ධනයනි එක්වව්‘‘ හඬ ගා කියමින් දහ පහළොස් තැනක කම්කරු දිනය සමරා නික්ම යන සම්ප්‍රදායිකත්වයෙන් හා වාර්ෂික ලිත් චාරිත්‍රයෙන් මිදී ජාත්‍යන්තර කම්කරු දිනය දා පමණක් හෝ කම්කරු පන්තිය එක්ව කම්කරු දිනය සමරණ නැවුම් අකෘති, නවමු මාදිලි නිර්මාණය කරගත යුතුය. සටන් සියයක් ජයග්‍රහණ සියයක් නිර්මාණය වනු ඇත්තේ එමගින් පමණි.

(***)