මුතුරාජවෙල තීන්දුව ගන්න සාකච්ඡා නොකළේ ඇයි?


රටක් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී බොහෝ වගකීම්සහගත විය යුතුය. එමෙන්ම ගතයුතු වන්නේ හිතළු මත පදනම්ව නොව ප්‍රතිපත්තිමය තීන්දු තීරණ වේ. ඒ ක්ෂේත්‍රයට අදාළ තක්කඩියන් නොවන ඇත්ත විශේෂඥයන්ගෙන් අවශ්‍ය උපදෙස් ගතයුතුය. ගතයුතු තීරණ කුමක්ද එය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙනුත් මනා අවධානයක් යොමුවිය යුතුය. එකක් පසුපස එකක් වශයෙන් ගැසට් රිවස් කර නොගැනීමට නම් අනුගමනය කළ යුතු පිළිවෙත වන්නේ එයය.

මුතුරාජවෙල අදූෂිත තෙත් බිම් කලාපය ජාතික ප්‍රශ්නයක් දක්වා වර්ධනය වී තිබේ. ඉන්දියාවට හා ලංකාවට පමණක් ආවේණික උනහපුළු වර්ගයක් ඇතුළුව විවිධ වන ජීවීන් 125 කට වඩා වාසය කරන මුතුරාජවෙල වගුරු තෙත් බිම ජාතික ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන්නේ එම කලාපයේ හෙලිකොප්ටර් අංගනයක් සෑදීමට පෞද්ගලික අංශයට පවරා දීමට ගෙන ඇති තීරණයත් සමගය. මෙහි විශේෂත්වය වන්නේ මෙම අධිසංවේදී පරිසර පද්ධතිය තුළ හෙලිකොප්ටර් අංගනයක් සෑදීමට පෞද්ගලික අංශයට පාවාඩ එළා තිබෙන්නේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් එම භූමියේ අයිතිය තමන්ට පවරා ගත් නාගරික සංවර්ධන අධිකාරියම වීමය.

වාර්තාවලට අනුව මෙයට වසර 7000 කට පෙර මුතුරාජවෙල ලෙස හැඳින් වූයේ හෙක්ටයාර් තුන්දහසක් පමණ විශාල වගුරු බිමය. විවිධ ගසා කන්නන්ගේ ගොදුරක් බවට පත්වූ මෙම වගුරු බිමෙන් දැනට ඉතිරිව ඇත්තේ හෙක්ටයාර් 500ක් පමණ ප්‍රමාණයකි. පෞද්ගලික අංශයට පැවරී යන්නේ ඒ ඉතිරියෙන් කොටසකි. මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ද පරිසර සංවිධානද එරෙහිව පෙරට විත් තිබෙන්නේ ඒ අපරාධයෙන් මුතුරාජවෙල පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමටය.

මිනිසා ජීවත් වන පරිසරය ඒ මිනිසාගේ ජීවිතයට තදම බලපෑම් කරන්නකි. විශේෂයෙන්ම එම මිනිසාගේ සංස්කෘතිය හැඩගැස්වීමෙහි එම පරිසරය දැඩි බලපෑමක් කරයි. එම පරිසරය අහිමිවීම එක් අතකින් එම මිනිසා විකෘති තත්ත්වයට පත් කිරීමකි. පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම අවධාරණය වන්නේ ඒ අනුවය.

අප රටේ පරිපාලන ව්‍යුහයක් තිබේ. සෑම දිස්ත්‍රික්කයකම දේශපාලන අධිකාරිත්වයක් තිබේ. පාර්ලිමේන්තු නියෝජනය, පළාත් සභා නියෝජනය, නගර සභා, ප්‍රාදේශීය සභා නියෝජනය වශයෙන් එය බෙදී යයි. මෙම ආයතන නියෝජනය කරනු ලබන්නේ මහජන නියෝජිතයෝ වෙති. එහෙයින් යම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී එම මහජන නියෝජිතයන්ගේ අදහස් විමසිය යුතුය. බිමේ ඇත්ත දන්නේ එම මහජන නියෝජිතයන් වීම එයට හේතුවකි. කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී ඉකුත්දා ප්‍රකාශ කර සිටියේ මහජන නියෝජිතයන් සමග කතා නොකර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට, ප්‍රාදේශීය සංවර්ධන කමිටුවට ඉදිරිපත් නොකර තීන්දු තීරණ ගැනීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන බවය.

රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ අප්‍රසාදය, මුතුරාජවෙල ක්‍රියාත්මක ව්‍යාපෘතියට එරෙහිවය. ඇය පවසන්නේ මුතුරාජවෙල අවට ග්‍රාම නිලධාරි වසම් රාශියක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන බවය. නාගරික සංවර්ධන අධිකාරිය කළේ වැඩකට නැති වැඩක් බවත් කිසිදු සොයා බැලීමක් නැතිව කළ මේ කටයුත්ත නිසා එම ප්‍රදේශවල විශාල පිරිසක් දැඩි අපසුතාවට පත්ව සිටින බවත් ප්‍රකාශ කර ඇත. ආර්ථික ප්‍රශ්නවලින් මිරිකී සිටින ජනතාව මෙම ප්‍රශ්නය නිසා ගහෙන් වැටුණ මිනිසාට ගොනා ඇන්නා වැනි තත්ත්වයට පත්ව ඇතැයිද කියා ඇති රාජ්‍ය ඇමතිවරිය මේ ගැන තමා ඇතුළු මහජන නියෝජිතයන්ගෙන් ප්‍රශ්න කරන බවටද කියා ඇත.

රාජ්‍ය ඇමති නිමල් ලංසා මහතාද මෙම තීරණය ඉවත්කර ගන්නා මෙන් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. මෙමගින් පැහැදිලි වන්නේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන නියෝජිතයන්ගෙන් දැඩි විරෝධයක් තිබෙන බවය.

යමක මිල දන්නා එහෙත් වටිනාකම නොදන්නා පිරිස්වලට සිංහල භාෂාවේ යෙදෙන වචනය ‘නරුමයා’ යන්නය. නරුමයාට පෙනෙන්නේ යමක රුපියල් ශත වටිනාකම පමණි. මුතුරාජවෙල ඓතිහාසික බිම්කඩ වෙත බැල්ම යොමු වන්නට ඇත්තේද එනිසාම විය යුතුය. එහෙත් පරිසර ඝාතකයන්ට ඉඩ දිය යුතු නැත. දේශගුණික විපර්යාස ගෝලීය ගැටලුවකි. එහි බලපෑමෙන් අපේ රටට ගැලවීමක්ද නැත. රටේ ප්‍රගතියට හා සංවර්ධනයට බාධාකාරී කටයුතුවලට කිසිවකුට ඉඩදිය යුතු නැත.

එහෙත් අලුත් ප්‍රශ්න මතුකර උද්ඝෝෂණවලට පාවාඩ එළන තකතීරු තීන්දු ගැනීම සිරිතක් බවට පත්කරගෙන සිටින බලවතුන් ඉදිරියට කෙසේ කටයුතු කරනු ඇද්දැයි ජනතාව සිටින්නේ දෙගිඩියාවෙනි.

(***)