මුල්‍ය පාලන නීතිරීති තවත් දැඩි කරන්න ඕනෑ


රටේ  සෑම පුරවැසියකුම රුපියල් ලක්ෂ 10ක් ලෝකයට ණයකාරයකු වී හමාරය. හෙට උපදින දරුවාගේ ණය බර කොපමණ වේදැයි කිව නොහැකිය. ඒ අනුව පෙනෙන්නේ බුදු දහමේ දැක්වෙන ‘අණන සුඛය’ හෙවත් ණය නොවී සිටීමේ සැපය බුදුන් දැක නිවන් දකින තුරුවත් ශ්‍රී ලාංකිකයන්ට හිමි නොවන බවය.

 අප වැනි රටකට ණය සහ ආධාර නොමැතිව දෙපයින් නැඟී සිටිය නොහැකි බව ඒකාන්ත සත්‍යයකි. ප්‍රශ්නය වන්නේ ණය නොවේ. ඒ ණයේ ප්‍රතිලාභය සම්බන්ධයෙනි. ලබාගත් ණයෙන් සිදුකරන ව්‍යාපෘතියෙන් පොලියත් ණයත් ගෙවිය හැකි විය යුතුය. ඵලදායි මූල්‍ය කළමනාකරණය යන්නෙන් හඳුන්වන්නේ එයය. රටකට නීතියේ විධානය මෙන්ම විධිමත් මූල්‍ය පාලනයක් මුල්‍ය විනයක් තිබිය යුතුය. එසේ නොවන්නේනම් රට සිදුවන්නේ ‘පස බුරුල් වී ප්‍රපාතයට පත බෑවෙන්නා සේ’ රට පතුළ නොපෙනෙන අඳුරු ආගාධයට ඇද වැටීමය. හොඳම නිදසුන ඉක්ම යන පැයට අදාළව අපේ රටය.

අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියවුණේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ගත් ණය ආධාර යටතේ රුපියල් කෝටි 170ක් වැය කරමින් වැඩ අවසන් කළ පුරනැගුම ව්‍යාපෘති පනහක් අපේක්ෂිත ඉලක්ක සපුරා නැති බව විගණන වාර්තාවකින් අනාවරණය වී ඇති බවය. එම ප්‍රවෘත්තියට අනුව ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ රුපියල් කෝටි 789ක් වැය කරමින් පළාත්  පාලන ආයතන මගින් පුර නැගුම ව්‍යාපෘති 178ක් ක්‍රියාත්මක කර තිබේ.

අප පුවත්පත පවසන්නේ එසේ ආරම්භ කළ බොහෝ ව්‍යාපෘති නිසි කලට වැඩ අවසන් නොකිරීම නිසා අපේක්ෂිත ප්‍රයෝජන ලබා නොගෙනම ණය වාරික ගෙවීමට සිදුවී ඇති බව විගණන වාර්තාවේ දැක්වෙන බවය. අපේක්ෂිත ඉලක්ක සපුරා නැති ව්‍යාපෘති පනහෙන් දහතුනක්ම නිෂ්ක්‍රීය මට්ටමේ පවතින බවත් ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 33.21ක් බවත් වාර්තාව කියයි.

රටේ පාලකයා රටේ බාරකරුවා මිස අයිතිකරුවා නොවන බව  පුරාණ සෙල්ලිපිවල සඳහන්ය. රාජ්‍ය පාලනයේ  අාධ්‍යත්මය සැකසී තිබුණේ එසේය. අහසින් වැටෙන එක් ජල බිඳුවක් හෝ අපතේ නොහැරිය යුතුය යන මහ පොළොව හා බැඳුණු මනසක් ඉපැරැණි රාජ්‍ය නායකයන් නිපදවා ගත්තේ ඒ දියුණු  ආධ්‍යාත්මයේ මග පෙන්වීමෙනි. අප ලොව බබලවන රටක් බවට පරිවර්තනය වූයේ ඒ දියුණු සභ්‍යත්ව බලයේ ආනුභාවයෙනි.

අතීතය එපරිදි වුව ද රාජ්‍ය මුදල් කළමනාකරණය සම්බන්ධයෙන් වර්තමානයේ කතාව බෙහෙවින්ම සංවේග ජනකය. එහෙත් එසේ සංවේගයට පත්වීමෙන් පමණක් අපට අත්පත් කර ගත හැකි සුගතියක් නැත. ගමනේ තාර්කික ප්‍රතිඵලය වී තිබෙන්නේ රටේ සෑම පුරවැසියකුම ලෝකයට රුපියල් ලක්ෂ 10ක ණයකාරයකුවීමය. රටේ අභිමානවත් පුරවැසියා ණය ගෙවීමට නොහැකි රටක හිඟන්නකුගේ තත්ත්වයට ලොව හමුවේ පාච්චල්වීමය.

මෙහි පෙර සඳහන් විගණන වාර්තාවෙන් හෙළිවන තවත් කරුණක් වන්නේ රුපියල් කෝටි 63.76ක් වැය කරන වැඩ අවසන් කළ ව්‍යාපෘති 16ක් ප්‍රයෝජනයට ගනිමින්       තිබුණද එමගින් බලාපොරොත්තු වූ ප්‍රතිලාභ අදාළ පළාත් පාලන ආයතන ලබාගෙන නැති බවය. එමෙන්ම රුපියල් කෝටි 74ක් වැය කරමින් ඉදිකළ තවත් ව්‍යාපෘති 21ක් මගින් නිසි ප්‍රයෝජන ලබාගෙන නැති බව ද එම විගණන වාර්තාවේ සඳහන්ය. පුර නැගුම ව්‍යාපෘතිය යටතේ පළාත් පාලන ආසන 108ක ව්‍යාපෘති 178ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබු අතර එම ව්‍යපෘති 2016 දෙසැම්බර් 31 වැනිදා වනවිට අවසන් කළ යුතුව තිබු බවද ව්‍යාපෘති 35ක් පමණ එම දිනයට වැඩ අවසන් කර නොතිබූ බව ද එම විගණන වාර්තාවෙහි සඳහන්ය. එමෙන්ම ඇතැම් ව්‍යාපෘතිවල වැඩ අවසන් කර තිබෙන්නේ 2018 වසරේ අවසන් බාගයේ බව ද ඒ නිසා ව්‍යාපෘති කාර්යාල පවත්වාගෙන යාමටත් උපදේශන සමාගම්වලටත් අතිරේක වියදමක් දරන්නට  සිදුවී නැති බව එම විගණන වාර්තාවේ සඳහන්ය.

මහජන දේපළ රාජ්‍ය දේපළ සඟසතු වස්තු ලෙස ඉපැරණි සමාජය සැලකුවේය. එහෙයින් මහජන මුදල් හොරා කෑමටත් එම මහජන මුදල් නාස්ති කිරීමටත් ඔවුහු නොපෙළඹුණහ. එහෙත් සමාජය වේගයෙන් වෙනස්වී තිබේ. හැකි තරම් සොරා කෑමටත්, ගසා කෑමටත් පෙළඹෙන විකල් මනසක් නිර්මාණය වී තිබේ. රට උගසට  තබා ගත් ණයට අත්කර දී ඇති ඉරණම එයට එක් උදාහරණයක් පමණි.

අද මෙරට සියලු පුරවැසියෝ හෙටක් ගැන සිතා ගැනීමට නොහැකිව නිරාදුක් විඳිති. අපට ණයක් දීමට ලෝකයේ රටවල් ලෝකයෙත් නැති කොන්දේසි දමයි. පුරවැසියාගේ අභිමානය පිච්චියට දමා තිබේ. ඩොලර් ගෙවීමට නොහැකි නිසා අප රටේ දරුවන්ට විදෙස් විශ්වවිද්‍යාලවල දොරවල් වැසී යමින් තිබේ. අප රටේ පුරවැසියන් මෙබඳු නින්දා සහගත අවමානයකට ලක්විය යුතු නැත. එහෙත් එය සිදුවෙමින් තිබේ. මෙම තත්ත්වය ඉබේ නිර්මාණය වුවක් නොවන බව ඉඳුරාම ප්‍රත්‍යක්ෂ වූවකි. මෙබඳු විගණන වාර්තා එළිදැක්වීමෙන් පමණක් නතර නොවී අදාළ වැරැදිකරුවන්ට දඬුවම් දීමේ යන්ත්‍රණයක් ද ඉක්මනින් ආදේශ කළ යුතුය.

(***)