‘සෙළවෙන සෑම තැනකටම වෙඩි තබනු’ යන්න කොමාන්ඩෝ පුහුණුවේදී දෙනු ලබන නියෝගයකි. එයින් කියැවෙන්නේ සතුරාට කිසිදු අවස්ථාවක් නොදිය යුතු බවය. සතුරා දෙස සැකයෙන් බැලිය යුතු බවය. සටන් බිමේදී සුරතල්වීමට කිසිවකුට අයිතියක් නැත.
අද මුළු රටම යුද පිටියකි. සෑම පුරවැසියකුටම කොවිඩ් මාරයා සමග සටන් කිරීමට සිදුවී තිබේ. මේ සටනේදී සතුරාට ජය ගැනීමට ඉඩ දිය යුතු නැත. මෙම සටනින් අප අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතුය. දෙවසරක අත්දැකීම් ඒ සඳහා ප්‍රමාණවත්ය. අවශ්‍යවන්නේ එම අත්දැකීම් ප්‍රයෝජනයට ගැනීමය.
රජයේ සහ රජය අනුමත පාසල්වල 6-7-8 හා 9 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සඳුදා ආරම්භ කරන බව අප පුවත්පත වාර්තා කළේය.
එය ශුභාරංචියකි. එම ශ්‍රේණි ආරම්භ කිරීමත් සමග පාසල්වල සියලුම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සම්පූර්ණ වේ. මෙය මුළු මහත් ජාතියම අත්පත් කරගත් අනගිතම ජයග්‍රහණයකි. මෙම ජයග්‍රහණය පාවා නොදිය යුතුය.
පාසල්වල සියලු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කරනු ලබන්නේ කොවිඩ් මාරක වසංගතය මුළුමනින්ම තුරන් වූ පරිසරයක නොවේ. සාමාන්‍යයෙන් දෛනිකව හමුවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව පන්සියය ඉක්මවා යයි. ආසන්න මෑත දිනයකදී එය හත්සීයේ සීමාව ඉක්මවා ගියේය. මෙය යහපත් තත්ත්වයක් නොවේ. අහඹු පීසීආර් පරීක්ෂණ කරන්නේ නම් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මෙයට වඩා ඉහළ මට්ටමකට ගනු ඇත.
අප පුවත්පත වාර්තා කළ පුවතකින් කියැවුණේ හල්දුම්මුල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් හතරක දූ පුතුන් හා ගුරුමණ්ඩලයේ කිහිප දෙනකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමග එක් විදුහලක් වසා දැමීමට තීරණය කර ඇති බවය. එමෙන්ම අනෙක් විදුහල්වල අදාළ පන්ති නතර කිරීමට පියවර ගෙන ඇති බවය. මේ එක් නිදසුනක් පමණි. එම නිදසුනෙන් අපට රටේ සාමාන්‍ය තත්ත්වය හඳුනාගත හැකිය.
මේ රට ගිලී තිබුණේ කොවිඩ් රතු කලාපයේය. එහෙත් ඉක්මනින් එම මරු කපොල්ල පැන ගැනීමට රටක් වශයෙන් අපට හැකිවිය. එය නියත වශයෙන්ම මෙරට ජනයා තමන් උපන් බිමට ගෙවූ ණයක්ය. තමන්ගේ උපන් බිමට තිළිණ කළ ජයග්‍රහණයක්ය. ඔවුන් වගකීමෙන් නොහැසිරුණේ නම් මේ රට කොවිඩ් වගුරේ පත්ලටම ගිලෙන්නට ඉඩ තිබිණි.
එන්නත්කරණය සාර්ථකව සිදු කළ ලෝකයේ රටවල් 10 අතරට එක්වීමට අප රටට හැකි විය. එන්නත්කරණය සම්බන්ධයෙන් විවිධ ප්‍රවාද ප්‍රචාරය කරමින් සිටියදී පවා එම ජයග්‍රහණය අත්පත් කර ගැනීමට හැකිවීමද විශේෂත්වයකි. එමෙන්ම වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්‍ඨ පුරවැසියන්ට කොවිඩ් මර්දන තුන්වැනි එන්නත එනම් බූස්ටර් එන්නත ලබාදීම අරඹා තිබේ. කොවිඩ් මාරාන්තික වසංගතය හමුවේ දැනට ඇති එකම පිළිසරණ එන්නත පමණකි. ඒ අනුව අප රට කොවිඩ් මාරයාට සාර්ථකව මුහුණ දෙමින් සිටින බව පැහැදිලිය.
කොවිඩ් වසංගතය මුහුද මෙනි. මුහුද වරෙක නිසසලය. එහෙත් එක්වරම මහා ප්‍රචණ්ඩ ලෙස හැසිරීමට පටන් ගනී. පොල් ගස් කරටි අගිසිවලට උඩින් පියාඹන තරමට සුනාමියක් බවට පත්වීමට මුහුදට ගත වෙන්නේ නිමේෂයකි. රළ පසුබැස ගොස් ඇති බව පෙනුණද කොවිඩ් මුහුද කුමන මොහොතේ සුනාමියක් බවට පත්වේද යන්න කිව නොහැකිය. එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම අප සියලු දෙනාම ඉදිරිපිට ඇති වගකීම වේ.
කොවිඩ් වසංගතයේ විශේෂත්වයක් තිබේ. එනම් අවශ්‍යනම් එය අපට පාලනය කළ හැකිවීමය. උපරිම සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත්වලට අනුව කටයුතු කරන්නේනම් කොවිඩ් මාරයාට හිස එසවිය නොහැක. දත් විළිස්සාගෙන පොකුරු මවමින් පැමිණි කොවිඩ් මාරයා පරාජය කිරීමට අපට හැකි වූයේ එසේ උපරිම සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත්වලට අනුව කටයුතු කළ හෙයිනි. අවශ්‍යවන්නේ එය තවදුරටත් පවත්වාගෙන යාමය.
පාසල්වල සියලු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට හැකියාව ලැබුණද මෙම තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යෑම අසීරු අභියෝගයකි. එය අභියෝගයක් වුවත් එයට නිර්භීතව මුහුණ දිය යුතුය. මෙබඳු මාරක වසංගතයක් සම්බන්ධ අත්දැකීම් අපට නොවූවද දෙවසරක් පුරා ප්‍රමාණවත් අත්දැකීම් අපි ලබා ගත්තෙමු. මෙබඳු මාරක වසංගතයක් සමග පරණ පුරුදු ජීවිත රටාවක් ගත කිරීමට නොහැකි බව අප පිළිගත යුතුය. එසේ නම් මෙබඳු පරිසරයක කෙසේ ජීවත්විය යුතුද යන අවබෝධය අප ලබා ගත යුතුය. ඒ සඳහා අලුතෙන් සිතිය යුතුය. නිර්මාණශීලීව සිතිය යුතුය. එසේ නොවුණහොත් පාසල් පමණක් නොව මුළු රටම වසා දැමීමට සිදුවනු ඇත. ඒ මහා පාපකර්මයට දායක නොවී සිටීම සියල්ලන්ම ඉදිරිපිට ඇති වගකීම වේ.
(***)