මූල්‍ය අරමුදලේ දූෂණ විරෝධී කොන්දේසිය


ඩොලර් බිලියන 2.9 ක ණය ආධාර මුදලක් ශ්‍රීලංකාවට ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා එකඟත්වය පළ කළේය. ඉදිරි වසර කිහිපය තුළදී ශ්‍රී ලංකාවට ආර්ථික ස්ථාවරභාවය රැකගැනීමට රුකුලක් වන මෙම එකඟතා ගිවිසුමට අදාළ ණය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තද කොන්දේසි කිහිපයක්ම සපුරා තිබිය යුතු බවද ඔවුන් අවධාරණය කර තිබේ. දූෂණය මර්දනය කිරීම සඳහා පිළිගත හැකි ශක්තිමත් වැඩපිළිවෙළක් සැකසීම සඳහා පියවර ගත යුතුබවට ඔවුන් පනවා ඇති කොන්දේසිය ඒ අතුරින් කැපී පෙනෙයි.

ණය ලබාගැනීමට නම් දූෂණය වැළැක්විය යුතු බවට කොන්දේසියක් පැනවීම සම්බන්ධයෙන් රටක් හැටියට අප ලජ්ජාවිය යුතුය. එයින් එකවරම හැඟෙන්නේ රටේ දූෂණය ඉහවහා ගොස් ඇති බවය. රටක දූෂණය නැති විය යුත්තේ ණයක් ලබාගැනීම අරමුණු කරගෙන නොව රටේ යහපත සඳහාය. එහෙත් මේ රටේ පාලනය භාරව සිටි ආණ්ඩු දූෂණය වළක්වා ගැනීමට ප්‍රමාණවත් තරම් පියවර ගෙන නැති බවටත් ඒ හේතුව රටේ ආර්ථිකයේ පිටකොන්ද කැඩී යාමට හේතුවී ඇති බවටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරන ආකල්පය බව ඉහත සඳහන් කොන්දේසිය අපට පෙන්වාදී තිබේ. එය ලජ්ජාවට පමණක් නොව කනගාටුවටද හේතුවන කරුණක් බව කිව යුතුය.

ශ්‍රී ලංකාවට ණය ආධාර ලබාදීම සඳහා රජය සමඟ සාකච්ඡා කළ විශේෂඥ කණ්ඩායමේ සම නායකයකු වන මෂාහිරෝ නොසාකි එම ණය පහසුකම ලබාදීමට ගත් තීරණය දැනුම් දුන් මාධ්‍ය සාකච්ඡාවේදී දූෂණයට එරෙහිව සටන් කිරීමට ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවට කළ ප්‍රකාශය රටේ පොදු මහජනතාව නම් ආදරයෙන් වැළඳ ගන්නා කොන්දේසියක් වන බව නොරහසකි. එහෙත් රටේ ඇතැම් දේශපාලන බලවතුන් නම් මේ කොන්දේසියට කැමැති නොවන බව සක්සුදක් සේ පැහැදිලිය. ඔවුන් එවැනි දූෂණ විරෝධී යාන්ත්‍රණයක් සැකසීම ගැන රහසේ විරෝධය දක්වනු ඇත.

මේ පිළිබඳ පැහැදිලි අදහසක් ඇතිකර ගැනීමට පසුගිය වසර කිහිපය දෙස ආපසු හැරි බැලීම පමණක් ප්‍රමාණවත් යැයි අපි සිතමු. එම කාලය තුළදී මේ රටේ ඇතැම් දේශපාලනඥයෝ හිටි අඩියේ පොහොසත් වූ හා තවත් සමහරු කාලයක් තිස්සේ ටිකෙන් ටික පුදුමාකාර අන්දමින් පොහොසතුන් බවට පත්වූහ. මේ කිසිවකුත් තමන්ගේ වත්කම් සහ බැරකම් පිළිබඳ සැබෑ තොරතුරු වගකිව යුතු අංශවලට බාරදී ඇතැයි අප සිහිනෙන්වත් සිතන්නේ නැත. එහෙම බාරදී තිබුණා නම් එම ප්‍රකාශ මත පදනම් වෙමින් හිටි අඩියේ පොහොසතුන් වීම සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ පනත යටතේ පැවරෙන නඩු හේතුවෙන් මේ වනවිටත් සිටිය යුත්තේ සිරගෙවල් වලය. එහෙත් එහෙම අතීතයේදී සිදු නොවීය. වර්තමානයේදීද සිදුවන බවක් පෙනෙන්නට නැත. මුල්‍ය අරමුදලේ කොන්දේසියට අනුව අනාගතයේදී හෝ එවැනි යාන්ත්‍රණයක් සැකසෙනු ඇති බවට වන කිසියම් බලාපොරොත්තුවක් පමණක් අපට ඉතිරිව ඇත.

අප එසේ කියන්නේ පසුගිය වසර ගණනාව තුළම හදිසියේම බිලියනපතියන් වූ දේශපාලනඥයන්ගේ හෝ නිලධාරීන්ගේ හෝ කිසිවකුත් මේ වනතුරු අධිකරණය ඉදිරියේ සැබෑලෙසම අභියෝගයට ලක්වූ බවක් පෙනෙන්නට නැතිවීම හේතුවෙනි. ප්‍රකාශ කළ නොහැකි ආකාරයෙන් අති විශාල ධනයක් උපයාගත් කිසිවකුටත් එරෙහිව නඩුවක් විභාගවන ආකාරයක් ගැන දැනගන්නට නැත. පවරා තිබෙන නඩු කිහිපයද ‘‘සොච්චම්’’ හේතු මත පැවරුණු නඩු බව බැලූ බැල්මට පෙනී යයි.

මේ සඳහා හොඳම මෑතකාලීන උදාහරණය වන්නේ රටට සීනි ගෙන්වීමේදී විශාල වංචාවක් සිදුවී ඇති බවට නැගුණු ප්‍රබල චෝදනාවය. එහි විමර්ශන ඇරඹුවත් ඒවා සිදු කෙරෙන්නේ ඉතාම මන්දගාමීව බව වටහා ගැනීම අසීරු නැත. රටේ ජාතික ධනය දූෂණයෙන් වංචාවෙන් සොරාගන්නා පුද්ගලයන් පමණක් නොව ඔවුන්ට ආධාර සහ අනුබල දෙන දේශපාලන බලවතුන් ඇතුළු සියලු දෙනාවත් නීතියේ රැහැනට හසුකරගෙන ඔවුන්ට නීතියෙන් දැඩි දඬුවම් ලබාදිය හැකි යාන්ත්‍රණයක් අපේ රටට තදින්ම අවශ්‍ය වී තිබෙන්නේ මෙවැනි හේතු නිසාය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලංකාවට ණය මුදල් ලබාදීමේදී එවැනි යාන්ත්‍රණයක් තිබීමේ අවශ්‍යතාව දැඩිව අවධාරණය කිරීමට ප්‍රමාණවත් තරම් සාක්ෂි ඔවුන් සතුව ඇති බවට සැකයක් නැත.

ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍යව තිබූ ඩොලර් බිලියන ගණනක ණය ආධාර පිළිබඳව බලාපොරොත්තු වූවාටත් වඩා ඉක්මනට එකඟත්වයකට එළඹිය හැකිවන පරිදි එම සාකච්ඡා සාර්ථකව ඉදියට ගෙනයාම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැසසුම් ලැබිය යුතුය. එහෙත් මුල්‍ය අරමුදලේ සාකච්ඡා කණ්ඩායම බලාපොරොත්තුවන ආකාරයේ දූෂණයට එරෙහි ශක්තිමත් යාන්ත්‍රණයක් සැකසීමට ජනාධිපතිවරයාට ඉඩක් ලැබේද යන්න නම් සැකසහිතය. පාර්ලිමේන්තුව තුළින් ජනාධිපති ධුරයට පත්වීම සඳහා වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ එහෙත් දූෂණ චෝදනාවලට ලක්වූ මැති ඇමැතීන් සහ බාහිර පුද්ගලයන්ද දේශපාලන සතුරන් බවට පත්කර ගැනීමෙන් තොරව එවැනි යාන්ත්‍රණයක් සැකසීම ඉතා දුෂ්කර ව්‍යායාමයක් වනු ඇත.

මහාපරිමාණයෙන් සිදු කෙරුණු දූෂණ සහ වංචාත්, නාස්තිය සහ බලය අවභාවිතයත් රටේ ආර්ථිකයේ කඩා වැටීමට ප්‍රබල උත්තේජනයක් ලබාදුන්නේය. රටේ ආර්ථිකය ගෙල මුලටම සිරවී මර විලාප නගනතුරු මුල්‍ය අරමුදලට යානොහැකි වීමේ ප්‍රතිඵලය වී ඇත්තේ වඩාත් බරපතළ කොන්දේසි යටතේ ණය ආධාර ලබා ගැනීමට සිදුවීමය. එහෙත් සෑම අඳුරු වලාවකම රිදී රේඛාවක් තිබෙන්නාක් මෙන් දූෂණයට එරෙහිවන කොන්දේසියක්ද එයට ඇතුළත් වීම ගැන අපට සතුටු විය හැකිය. එය යථාර්ථයක් බවට පත්කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණි.

(***)