මූල්‍ය ආයතනවල තැන්පත්කරුවන් රැකීම මහ බැංකුවේ වගකීමක්


තවත් මූල්‍ය ආයතන දෙකක තැන්පත්කරුවෝ පසුගිය 13 වැනිදා සිට උණුවතුරට වැටී සිටිති. ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් ලිමිටඩ් නම් ආයතනවල ව්‍යාපාර කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත්හිටුවීම හේතුවෙන් මෙසේ එකොළොස් දහසකට ආසන්න තැන්පත්කරුවන්ගේ අනාගතය මහපාරට ඇද දමා තිබේ. මේ අය අතුරින් කිසියම් පිරිසකට තැන්පත් මුදල් ගෙවන බවටත් ඉතිරි පිරිසට ලක්ෂ 06ක මුදලක් ලබා දෙන බවටත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර තිබේ. එය අසහනයට පත්ව සිටින තැන්පත්කරුවන්ට යම් තරමක හෝ සහනයක් වුවත් ගැටලු‍වට අදාළ විසඳුම නොවන බව තරයේ කිව යුතුය.

ඉහත සඳහන් මූල්‍ය ආයතන දෙකම බංකොළොත්භාවයට පත්ව ඇත්තේ 2011 වසරේ සිට පැවැති විවිධ අක්‍රමිකතා හේතුවෙන් බව මහ බැංකුව ප්‍රකාශ කරයි. එය එසේ නම් මූල්‍ය ආයතනවල විවිධ අක්‍රමිකතා පැවතුණු බව දැන දැනම එවැනි ආයතන බංකොළොත් වී ඒවායේ තැන්පත්කරුවන්ට සියල්ල අහිමිවන තුරු මහ බැංකුව කුමක් කළේද යන්න බරපතළ ගැටලු‍වකි. මෙහි සඳහන් ආයතන දෙකම මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව මීට පෙර ප්‍රකාශවල සඳහන් විය. එසේ නම් ඒවායේ ව්‍යාපාරික කටයුතු විනිවිදභාවයකින් යුතුව සිදුවන්නේදැයි පරීක්ෂාවට ලක් කිරීම මහ බැංකුවේ ද වගකීම විය යුතුව තිබිණි. එසේ සිදු නොකර ආයතන බංකොළොත් වූ බවට ප්‍රකාශ කිරීමට පමණක් නම් මහ බැංකුවේ අධීක්ෂණයක් තිබිය යුතු නැත. පුවත්පත්වල දැන්වීම් පළකොට තමන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මූල්‍ය ආයතන මේවා යැයි ලැයිස්තු ප්‍රකාශයට පත් කිරීම ද ඵල රහිතය.

මූල්‍ය ආයතන මුදල් තැන්පත්කරුවන්ගෙන් අති බහුතරය තමන් ජීවිත කාලය තුළ උපයා ගත් ඊ.පී.එෆ්. වැනි අරමුදල් තැන්පත් කළ ආයෝජකයෝ වෙති. ධනවතුන් සහ ව්‍යාපාරිකයන් මේ ආයතනවල මුදල් තැන්පත් කරන්නේ කලාතුරකිනි. එහෙත් ඇතැම් අවස්ථාවල මූල්‍ය ආයතන අධ්‍යක්ෂකවරුන්ගේ සහ එම ආයතනවල ඉහළ නිලධාරීන්ගේ අනුදැනුම ඇතුව සහ ඔවුන්ගේ ඇරියුමින් තැන්පත්කරුවන් බවට පත්වන ව්‍යාපාරික සහ ධනවත් පිරිසක් ද වෙති. මේ අයගේ අරමුණ හැකි ඉක්මනින් විශාල පොලියක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් වසරක් හෝ දෙකක් වැනි කෙටි කාලයකට මිලියන ගණනින් හෝ කෝටි ගණනින් හෝ තැන්පත් කර එම මුදල් ඉවත් කර ගැනීමය. මෙය සිදුවන්නේ මූල්‍ය ආයතන හිමිකරුවන්ගේ අනුදැනුම මත බව ප්‍රකට රහසකි.

කඩාවැටෙන මූල්‍ය ආයතන හේතුවෙන් රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් හෝ ධනවතුන් හෝ අමාරුවේ වැටී නැත. එසේ වූ එකම අවස්ථාව වශයෙන් සැලකෙන්නේ ගෝල්ඩන් කී ආයතනය කඩාවැටීමයි. අනපේක්ෂිත අයුරින් එකවරම ගෝල්ඩන් කී කඩාවැටිණි. ඒ පිළිබඳ තොරතුරු කලින්ම දැනගත් එහි කෝටි ගණනින් මුදල් තැන්පත් කර තිබූ කිහිප දෙනකු එකවරම තම මුදල් ඉවත් කර ගැනීමත් ක්ෂණික කඩාවැටීමට එක් හේතුවක් වූ බවද පසුව ලැබුණු තොරතුරුවලින් හෙළි විය. ඒ හැර අනෙක් සෑම අවස්ථාවකම මූල්‍ය ආයතන කඩාවැටීමෙන් අතරමං වූවෝ අසරණ විශ්‍රාමිකයෝය. එසේත් නැතිනම් විදෙස් රැකියාවල නිරතව ඉතා අමාරුවෙන් ඉතිරි කරගත් මුදලක් තැන්පත් කළ පිරිසකි. සියල්ලටම පෙර ඉදිරියට පැන කඩාවැටෙන මූල්‍ය ආයතනවල අයිතිකරුවන් රැකගැනීම නොව තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කිරීමට වගබලා ගැනීම මහ බැංකුවේ කාර්යයකි. මහ බැංකුවේ ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක ක්‍රමය යටතේ තැන්පත්කරුවන්ට ලක්ෂ 06ක් ගෙවා දමා ප්‍රශ්නයෙන් ගැලවීම මහ බැංකුවේ යුතුකම නොවේ.

මෙරට මූල්‍ය ආයතනවල තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මීට වඩා වැඩි වගකීමකින් කටයුතු කළ යුතු බව අපගේ ස්ථාවරයයි. එසේ සිදු නොවන විට එවැනි ආයතනවල මුදල් ආයෝජනය කිරීම පිළිබඳව ජනතාවගේ විශ්වාසය ගිලිහී යනු ඇත. එහි ප්‍රතිඵල රටේ සමස්ත බැංකු පද්ධතිය කෙරෙහිම ඇති කරනු ඇත්තේ අහිතකර බලපෑමකි. මූල්‍ය ආයතන අක්‍රමිකතා සිදු කරන්නේ නම් ඒ පිළිබඳව විමසිලිමත් වී එම ආයතන හරි මගට ගැනීමට ක්‍රමවේදයක් සැකසිය යුතුය. ඒ වෙනුවට සිදුවන්නේ මහ බැංකුවේ ඇතැම් නිලධාරීන් ද මේ ආයතන අයිතිකරුවන් සමඟ එකතු වී ආයෝජකයන්ගේ තැන්පතුවලට විදීමට සහාය දැක්වීමක් නම් අපේ රටේ තැන්පත්කරුවන්ට දෙයියන්ගේම පිහිටය. අඩුම තරමින් අක්‍රමිකතා සිදුකරන ආයතනවල අයිතිකරුවන්ට තම වගකීම්වලින් මිදීමට නොහැකි වන සේ තද නීතිරීති සැකසීම හෝ සිදුකළ යුතුය.

ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් මූල්‍ය ආයතන අයිතිකරුවන්ට එරෙහිව කොතරම් නඩු පැවරුණත් ඔවුන් කිසිවකුත් මේ වනතුරු දඬුවම් විඳ නැත. එය අනාගතයේ දී හෝ සිදුවන්නේදැයි අපි නොදනිමු. දැනට මේ පෙනෙන්න තිබෙන්නේ අයිතිකරුවන් සුරසැප විඳිද්දී තැන්පත්කරුවන් උණුවතුරට වැටී සුසුම් හෙළන බවය. මේ තත්ත්වයට දැන් හෝ තිතක් තැබිය යුතුය.