අරගලකරුවන් අතින් ඝාතනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා වෙනුවෙන් රුපියල් කෝටියක වන්දි මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. එහිදී ඝාතනය වූ මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියා වෙනුවෙන් ද වන්දි මුදලක් ගෙවීමට නියමිත බව ද සඳහන් විය.
රුපියල් කෝටියකින් මිනිස් ජීවිතයක වටිනාකම තක්සේරු කිරීමට හැකියාවක් නැත. එහෙත් කිසිදු වන්දි මුදලක් නොලැබී යනවාට වඩා කෝටියක මුදලක් හෝ ලබාදීම ඝාතනය වූ මන්ත්‍රීවරයාගේ බිරිඳටත් දරුවන්ටත් මඳ සැනසීමක් හෝ ලබා දෙනු ඇත. එම පිරිසට තම සැමියා සහ පියා මහමෙරකටත් වඩා වටිනා බව දැනුණත් ඔවුන්ට මේ ලැබීම හෝ අවස්ථාවේ හැටියට සහනයක් බව අපි සිතමු. හැකි නම් පක්ෂයේ මට්ටමින් හෝ තව තවත් එම ඝාතනය වූ මන්ත්‍රීවරයාගේ පවුලේ දූ දරුවන්ට දිගින් දිගටම ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක් හෝ ක්‍රියාත්මක කළ හැකි නම් එය වඩාත් ප්‍රතිඵලදායක වනු ඇත. වසර 05ක පාර්ලිමේන්තු කාලසීමාව අවසන් කිරීමට පෙර ඔහුගේ මරණය සිදුවූ බැවින් අතුකෝරාළ මන්ත්‍රීවරයාට විශ්‍රාම වැටුපකට හිමිකමක් ද නැත.
මිනිස් ජීවිතයක වටිනාකම තුට්ටුවකට මායිම් නොකළ ප්‍රචණ්ඩකාරී පිරිසකගේ මාරාවේශ වූ ක්‍රියා හේතුවෙන් මෙසේ අමරකීර්ති අතුකෝරාළ මන්ත්‍රීවරයා ඝාතනය වීම මහත් ඛේදවාචකයකි. අරගලයට කවර ආකාරයක දායකත්වයක් දැරූ පිරිසක් අතින් මේ මිනීමැරුම සිදුවී දැයි අපි නොදනිමු. කවුරුන් මේ සඳහා වගකිවයුතු වුවත් මෙවැනි අපරාධයක් කිසිදු රටක සිදුවිය යුතු නැත. පණ බේරා ගැනීමට දිවයන පුද්ගලයකු හඹා ගොස් ඔහුට පහර දී ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ හැක්කේ මිනීමරු මනසකින් ක්‍රියා කරන අපරාධකරුවන්ට පමණි. මේ සිද්ධිය වූ පසුගිය මැයි මස 09 වැනිදා එවැනි සිත් පිත් නැති අපරාධකරුවෝ සිය ගණනින් වීදි බැස සිටියහ. නිවෙස්, වාහන ඇතුළු කෝටි සංඛ්‍යාත දේපළ එදින රාත්‍රියේ වැනසී ගියේ එම අපරාධකරුවන් අතිනි. මේ සිද්ධි ශිෂ්ට සම්පන්න රටක සිදුවිය යුතු නැත. අනාගතයේ දී වුවද එවැනි තත්ත්වයකට රට මුහුණ දිය යුතු නැත.
ආණ්ඩුවලට එරෙහිව ජනතාවගේ නැගිටීම් සිදුවීම රටේ ලෝකයේ දේශපාලනයට අමුත්තක් නොවේ. එවැනි නැගිටීම් සිදුවුව ද ඒවා ප්‍රචණ්ඩත්වයට නැඹුරු වූ අපරාධකරුවන් අතට පත්වීමට ඉඩ නොතැබීමට ඒවාට නායකත්වය දෙන පිරිසේ වගකීමකි. ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සහ විරෝධතා ප්‍රචණ්ඩකාරී තත්ත්වයට පෙරළිය හැකි වුවත් එය පුද්ගලයන් සහ දේශපාලකයන් හඹා යමින් ඔවුන් ඝාතනය කරන තත්ත්වයට පත්වීම මොනම රටක වුවද අරාජික තත්ත්වයට පාර කැපීමකි. එවැනි අරාජික තත්ත්වයට රටක් පත්වීමෙන් පසුව සිදුවිය හැකි බිහිසුණු ප්‍රතික්‍රියා අරාබි වසන්තය නම් වූ විරෝධතා ව්‍යාපාරයෙන් දැකගත හැකි විය. අවසානයේ ඇතැම් රටවලට එය වසන්තයක් නොව වසංගතයක් විය. එය මෙහෙයවූ ඇතැම් නායකයන් ලැබූ ජයග්‍රහණයක් ද නොවීය. ඒ ඇතැම් රටවල් තවමත් වසන්තයට පෙර තත්ත්වයට වඩා වෙනසක් නැත.
මේ රටේ ආණ්ඩු විරෝධී අරගලවලට සහ කැරලිවලට ඉතිහාසයක් තිබේ. 53 හර්තාලයේ පටන් මේ දක්වා පැවැති අරගල සහ කැරලි අතර 71 කැරැල්ල, 87 කැරැල්ල සහ කැරැල්ලක් ලෙසින් ඇරඹී පසුව සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වූ එල්.ටී.ටී.ඊ. සටන ඒ අතරින් කැපී පෙනෙයි. මේ සියලු අවස්ථා, ඝාතන සහ සමූහ ඝාතනවලින් පිරී තිබිණි. එහෙත් ආණ්ඩු විරෝධී වැඩවර්ජන, උද්ඝෝෂණ සහ විරෝධතා මිනිස් ජීවිත බිලිගන්නා තත්ත්වයට පත්වූයේ කලාතුරකිනි. ඒවාට නායකත්වය ලබාදුන් පිරිසගේ බලපෑම ඊට හේතු වී යැයි පිළිගත යුතුය.
එසේ වුවද අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයාගේ ඝාතනය ඇතුළු නීතිවිරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා දක්වා වර්ධනය වූ අරගලයේ ආරම්භය ප්‍රචණ්ඩකාරී නොවීය. එය රසායනික පොහොර තහනම හේතුවෙන් හටගත් ගොවීන්ගේ විරෝධතාවලින් ඇරඹී පසුව එම තීන්දුවේම ව්‍යාති රේඛයක් වශයෙන් හටගත් ආර්ථික අර්බුදයේ කොටසක්ද නියෝජනය කළේය. පසුව අරගලය ගෝල්ෆේස් පිටිය දක්වා පැමිණ එහි ස්ථානගත වී සාමකාමී ලෙස සති ගණනක් පැවතිණි. රට පුරාද අරගලයේ ශාඛා පැවතුණත් ඒවාද සාමකාමී විය. ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර වී රටේම පෝලිම් ඇතිවී තෙල් හිඟ වී විදුලිය කැපීම ද දීර්ඝ වනවිට රටම නොසන්සුන් විය.
එසේ වුවද සාමකාමීව පවත්වාගෙන ගිය අරගලයට කඩා වැදී එහි සිටි පිරිසට පොලුවලින් ගසා බරපතළ තුවාල කර කූඩාරම් ගිනි තබා සිදු කළ විනාශය ඉන් පසුව හටගත් ප්‍රචණ්ඩකාරී තත්ත්වයට මග පෑදුවේය. එසේ නොවන්නට මැයි 09 වැනිදා අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයාගේ ඝාතනය සිදුවන්නේ ද නැත. දුරදිග නොබලා එම ප්‍රහාරය සිදු කිරීමට නායකත්වය දුන් සහ එයට සහභාගි වූ කිසිදු දේශපාලකයකුට එම වගකීමෙන් මිදිය නොහැකි බවද මෙහිදී පෙන්වා දිය යුතුය. පුද්ගලයකු ඝාතනය කිරීමෙන් පසුව ඔහු වෙනුවෙන් කෝටි ගණන් වන්දි ලබාදුන්නත් සිදුවූ පාඩුව පිරිමැසිය නොහැකි බවද ඒ සමඟ කිව යුතුය.
(***)