ඛනිජ තෙල් වලට අදාළ රාජ්‍ය ආයතන මේ රටේ මාධ්‍යවලට නිරන්තරයෙන් සිරස්තල මවා දෙයි. එහෙත් ඒ බොහොමයක් සිරස්තලවලට හේතුවන්නේ හොඳ ප්‍රවෘත්ති නොව නරක ප්‍රවෘත්ති වීම කනගාටුවට කරුණකි. පසුගිය දිනක අපගේ ලංකාදීප පුවත්පතේ එක් ප්‍රධාන සිරස්තලයකින් අනාවරණය කර තිබුණේ එවැනි එක් නරක ගණයේ ප්‍රවෘත්තියකි. එම ප්‍රවෘත්තියට අදාළ ආයතනය ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමයි.
විගණක වාර්තාවකින් හෙළිකර ඇති පරිදි එම සමාගමේ සේවකයන් 2638න් 1335ක්ම 2021 වසරේ සිට මූලික වැටුපෙන් සියයට 75කට වැඩි අතිකාල දීමනා ලබාගෙන තිබේ. ඒ අතුරින් 19 දෙනකු මූලික වැටුපෙන් සියයට 300ක් ඉක්මවා අතිකාල දීමනා ලබාගෙන ඇතැයි ද වාර්තා වෙයි. ඒ සමඟ අනාවරණය වන්නේ සේවකයන් 210ක් මූලික වැටුපෙන් සියයට 200ක් ද 988 දෙනකු මූලික වැටුපෙන් සියයට 100ක්ද ඉක්මවමින් අතිකාල දීමනා ලබාගෙන ඇති බවය.
මෙසේ අධික ලෙස අතිකාල දීමනා ලබාදීමේ අරමුණු එම සේවක පිරිස ලබාගෙන ඇති ණය අපසු ගෙවීම පහසු කිරීම බවද අදාළ විගණක වාර්තාවේ සඳහන් වී ඇතැයි ද ප්‍රකාශිතය. මේ කාරණාව නම් රාජ්‍ය ආයතන බොහොමයක අතිකාල දීමනා වැඩි වැඩියෙන් ලබාගැනීමට ඉඩහැරීමේ මහ පොදු සාධකය බවට පත්ව ඇතැයි ප්‍රකාශ වී ඇත්තේ වරක් දෙවරක් නොවේ. විශේෂයෙන් රාජ්‍ය සේවයේ අධික පාඩු ලබන සුදු අලින් වශයෙන් හංවඩු ගැසුණ ආයතන බොහොමයකට එය අදාළ වෙයි. කෙසේ වුව ද ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම විගණක අංශය වෙත කළ කරුණු පැහැදිලි කිරීමක පෙන්වා දී ඇත්තේ සේවකයන්ට ණය ලබාදීම පමණක් මෙම අතිකාල දීමනා ගෙවීම සඳහා හේතු වී නැති බවය. විශාල වශයෙන් අතිකාල දීමනා ගෙවීම් ලද සේවකයන් බෙදාහැරීමේ කාර්යාංශයට අනුයුක්ත රියැදුරන්, පෝටර්වරුන් සහ අක්වෙරළ මෙහෙයුම් තාක්ෂණික කාර්ය මණ්ඩලවලට අයත් බැවින් ඔවුන්ගේ අතිකාල සේවා වැළැක්වීම හෝ පාලනය කිරීම ප්‍රායෝගික වශයෙන් අසීරු කරුණන් බවද සමාගම කළ කරුණු පැහැදීමේ සඳහන්ය.
එය පිළිගැනීමට අපහසු කරුණු දැක්වීමක් බව බැලූ බැල්මට පෙනී යයි. කොතරම් අත්‍යාවශ්‍ය සේවාවක වුවද මූලික වැටුප මෙන් සියයට 300ත්, 200ත් හෝ 100ක් ඉක්මවමින් අතිකාල දීමනා ලබාගත හැකි ලෙස සේවකයන් සේවාවල නිරත කරවීම පැහැදිලිවම කළමනාකාරීත්වයේ දුර්වලකමකි. සේවයේ නිරත වූවන්ගේ කාර්යක්ෂමතාව, ඵලදායී බව නිසි ලෙස කළමනාකරණය කරගත හැකිනම් විගණක වාර්තාවෙන් හෙළිකර ඇති ආකාරයේ අතිවිශාල ප්‍රමාණයකින් අතිකාල දීමනා ගෙවීමට සිදු නොවන බව වටහා ගැනීම අසීරු නැත.
මෙය තෝරාගත් සේවකයන් පිරිසකට ලොකු හැන්දකින් බෙදීමක් බව පැවසීම වඩාත් නිවැරදි යැයි සිතමු. අප පෙන්වා දීමට තැත් කරන්නේ අතිකාල දීමනා නොගෙවිය යුතු බව නොවේ. එහෙත් ආයතනයේ අවශ්‍යතාව පසෙක දමා සේවකයාගේ අවශ්‍යතා සපුරා දීමට අතිකාල දීමනාව යොදවා ගැනීමේ ක්‍රමවේදය නැවැත්විය යුතු බවය. එවැනි ක්‍රියාවලින් සිදුවන්නේ ආයතනයේ කඩා වැටීම ය. ආයතනයට දැරි හැකි බර ඉක්මවා එහි වැටුප් සහ දීමනා ඇතුළු වියදම් වැඩිවන විට ආයතනය වළපල්ලට යාම නැවැත්විය නොහැක. අප කියන්නේ අතිකාල දීමනා වලින් ගසා කෑමට සේවකයන්ට ඉඩක් නොතැබිය යුතු බව ය.
අතිකාල දීමනා නොගෙවන රාජ්‍ය ආයතනයක් සොයා ගැනීමට වඩා පරිප්පු නැති හෝටලයක් සොයාගැනීම පහසුය. රාජ්‍ය ආයතනවලට පමණක් නොව බොහොමයක් පෞද්ගලික ආයතනවලටද අතිකාල දීමනා ගෙවීම පොදු කරුණකි. එසේ අතිකාල දීමනා ගෙවීමට ප්‍රධාන හේතුව වැටුප් ප්‍රමාණවත් නොවීම බවද පිළිගත යුතු සාධකයකි. ප්‍රමාණවත් තරම් වැටුපක් ලැබෙන සේවකයෙක් අතිකාල වැඩ කරමින් ආයතනය තුළටම කොටු වී රාජකාරියේ නිරත වීමට කැමැති වන්නේ නැත. එසේ වුවද ආයතනයට අත්‍යාවශ්‍ය සහ සැමදෙනාටම ඉටුකළ නොහැකි රාජකාරිවල දී අතිකාල ගෙවා සේවය ලබාගැනීමට අවස්ථාව තිබේ. එහෙත් එම අවස්ථාව තමන්ගේ ණයට කැපෙන වැටුප බේරා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් භාවිත කළ යුතු නැත. එවිට සිදුවන්නේ අදාළ ආයතනයේ ආර්ථිකයට කනකොකා හැඬීමය.
රාජ්‍ය සේවයේ නිරත අති බහුතරය නියමිත කාල සීමාවක දී විවිධ ණය ලබා ගැනීම පොදු කරුණකි. එසේ ලබාගන්නා ණය ආපසු ගෙවීම පහසු නැත. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි ආර්ථික වශයෙන් දැඩි පීඩනයකට හසුව තිබෙන ඒ හේතුවෙන්ම කොතරම් හම්බ කළත් එය ප්‍රමාණවත් නොවන තත්ත්වයක් තුළ සේවකයන් අතිකාල දීමනා වැඩිපුර ලබාගෙන හෝ එම ණය පියවීමට කටයුතු කිරීම පුදුමයක් නොවේ. එම තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කිරීම ඒ ඒ ආයතනවල ලොක්කන්ගේ වගකීමයි. විවිධ බලපෑම්වලට යට වී එම වගකීම් පැහැර හැරි සේවකයන්ට අවශ්‍ය පරිදි අධික ලෙස අතිකාල දීමනා ලබාදීමට ඉඩදීමෙන් එම ලොක්කන් කර ඇත්තේද වැරැද්දක් බවත් පෙන්වාදීමට කැමැත්තෙමු.
(***)