මුළු රටම අරගල බිමකි. ‘පාන් ගෙඩියක් රුපියල් 500ක් විය හැකි බවට’ අනුමාන කිරීම් ද ඒ අතර වේ. ආර්ථික අර්බුදයේ තරම එමගින් මනාව ප්‍රදර්ශනය වේ. කුණු බක්කි අවුස්සා කෑමට යමක් සොයන ශාපලත් පරිසරයක් තවමත් නිර්මාණය වී නැතද එබඳු පරිසරයක් නිර්මාණය නොවේ යැයි සහතිකයක් ද නැත. නයන පිනවන මේ රන් දිවයින තුන් බිය පිරුණු විශාලා මහනුවර වෙත සෙමෙන් ගමන් කරන සෙයකි.
අර්බුදය විසඳීම පමා කරන තත්පරයක් තත්පරයක් පාසා යළි ආපසු හැරවිය නොහැකි විනාශයක් වෙත රට ගමන් කරයි. එය වළක්වා ගැනීමේ අභියෝගය සියල්ලන් ඉදිරිපිටය. එම අභියෝගය ජයගත යුතුමය. ඒ සඳහා මේ මොහොතේ පළමුව කළ යුත්තේ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීමයි.
‘ගෝඨා හෝ හෝම්’ යැයි කීවාට ජනාධිපතිවරයා ගෙදර යැවීම ප්‍රශ්නයට විසඳුමක් නොවේ. එය තව අර්බුද පොකුරක් නිර්මාණය කිරීමකි. එසේ නම් විසඳුම විය යුත්තේ රටේ උගත් නැණවත් පුරවැසියන්ගේද අවධානයට ලක්ව ඇති අන්තර්වාර පාලනයක් පිහිටුවීමය. රජයෙන් ස්වාධීන වූ හවුල්කාර පක්ෂ මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ද අන්තර්වාර පාලනයකට එකඟතාව පළ කර ඇත.
අන්තර්වාර පාලනයක් පිහිටුවීමට නම් වත්මන් අගමැතිවරයා ප්‍රමුඛ ඇමැති මණ්ඩලය ඉවත් විය යුතුය. එවිට අන්තර්වාර පාලනයකට එකඟ දේශපාලන පක්ෂවල නියෝජිතයන්ගේ අනුමැතිය සහිත නව අගමැතිවරයකු ඇතුළු අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමේ අවස්ථාව ජනාධිපතිවරයාට හිමි වේ. දේශපාලන ස්ථාවරත්වය හරහා ආර්ථික ස්ථාවරත්වයට යාමට ඇති ඒකාන්ත මාවත එයම පමණි.
ප්‍රශ්නයක් වශයෙන් ඉතිරිව තිබෙන්නේ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් නොවීමය. ඉල්ලා අස් නොවන්නේ නම් විකල්ප දෙකකි. පළමුවැන්න ජනාධිපතිවරයාට අගමැතිවරයාට හා කැබිනට් මණ්ඩලය නෙරපා දැමිය හැකිය. දෙවැන්න නම් අගමැතිවරයා එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර එය ජයග්‍රහණය කරවීමය. අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ආණ්ඩුවෙන් ස්වාධීන වූ හවුල්කාර පක්ෂද, සමගි ජන බලවේගයද ඉදිරිපත් කරන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ. එබඳු විශ්වාසභංග යෝජනාවකට පාර්ලිමේන්තුවේ දී සහාය දෙන බව ජාතික ජන බලවේගයද ප්‍රකාශ කර ඇත.
මෙහිදී අවධාරණය කළ යුතු වැදගත්ම කාරණාවක් තිබේ. අගමැති මහින්ද රාජපක්ෂ යනු මෙරට දේශපාලන ඉතිහාසයේ අද්විතීය විශිෂ්ට නායකයෙකි. තිස් වසරක් පුරා මෙරට පැසවූ යුද නරකාදියෙන් මේ රට මුදා ගැනීමට අවශ්‍ය දේශපාලන නායකත්වය දෙනු ලැබුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. යුද්ධයෙන් පසුව මෙරට වේගවත් සංවර්ධනයට යොමු කළේද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.
ජනතාවගේ එවන් ආදර ගරු බහුමානයක් ලැබීමට ජන නායකයකුට පෙර පින් තිබිය යුතුය. මහින්ද රාජපක්ෂ යනු එවන් නායකයෙකි. එබඳු නායකයකුට ගෞරවාන්විත දේශපාලන සමුගැන්මකට ඉඩ දිය යුතුය. ජනාධිපතිවරයාගේ බලතල ප්‍රකාරව අගමැති ධුරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කිරීම හෝ දෝෂාභියෝගයක් මගින් ඔහු ඉවත් කිරීම එවන් සාඩම්බර නායකයකුට යුතු නැත.
මහින්ද රාජපක්ෂ යනු බලය ලබා ගැනීමට රුසියකු මෙන්ම බලය අතහැරීමට නිර්ලෝභි බව ඔහුගේ ඉතිහාසය කියා දෙයි. 2015 ජනාධිපතිවරයාගේ අවසන් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමටත් පෙර තමන් පරාජය වී ඇති බව දැන හිරු නැගෙන්නටත් පෙර රජ ගෙදරට සමුදුන් බව ප්‍රකට කතාවකි. ඒ ‘ජනාධිපතිතුමනි දැන්ම යන්න එපා. තව ටිකක් බලමු’ යැයි කී පිරිස් ඒ අසල සිටි බවද ප්‍රසිද්ධ රහසකි. මහින්ද රාජපක්ෂ මහතාගේ කීර්ති නාමයෙන් යැපුණ යැපෙන පිරිස්වලට මහින්ද රාජපක්ෂ නැතිවම බැරි බව සත්‍යයකි. ඔවුන්ගේ වචනවලට අවනතවීම යනු මෙතෙක් කලක් උපයා සපයාගත් දේශපාලන ප්‍රතිරූපයට ඇති කරගනු ලබන්නේ නින්දා සහගත කැළලකි.
මේ වනවිට වාර්තා වන්නේ අන්තර්වාර පාලනයකට ජනාධිපතිවරයාගේ එකඟතාව පළවී ඇති බවය. රටට අවශ්‍ය වන්නේ ඉක්මන් විසඳුමකි. එය සාකච්ඡා මාර්ගයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දේශපාලන පරිණත බව ජනාධිපතිවරයා ඇතුළු සියලු මහජන නියෝජිතයන් සතුව ඇතැයි අපි තවමත් විශ්වාස කරමු.
(***)